
නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබා දීමේ අරමුණින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ සිදු විය.
හෘද වාහිනී රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා වූ පහසුකම් ශක්තිමත් කරමින් ජපාන රජයේ මූල්‍ය සහාය මත ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (JICA) මගින් සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 2,403ක වියදමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
අති නවීන ශල්‍යාගාර, බාහිර රෝගී අංශ, නේවාසික රෝගී ප්‍රතිකාර පහසුකම් සහ අංග සම්පූර්ණ විද්‍යාගාරවලින් සමන්විත මෙම හෘද රෝග ඒකක ගොඩනැගිල්ල මහල් 08කින් සමන්විත අතර 2028 මැයි මාසය පමණ වන විට එහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය.
මෙහිදී සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා රෝහල් කාර්ය මණ්ඩලය සමගද සුහද කතා බහක නිරත විය.



















































