
කන්තලේ පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී, ඩීසල් වෙනුවට නීතිවිරෝධී ලෙස භූමිතෙල් භාවිත කර ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ (12) සවස සිදුකළ වැටලීමකදී, අදාළ බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පවසයි.
මහනුවර සිට දේශීය සංචාරකයින් රැගෙන ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථ, කන්තලේ පොත්තන්කාඩු මංසන්ධියේදී පොලීසිය විසින් නවතා පරීක්ෂාවට ලක්කර තිබේ.
එහිදී ඩීසල් වෙනුවට භූමිතෙල් ඉන්ධනයක් ලෙස භාවිත කරමින් බස්රථ ධාවනය කර ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව, බස් රථ පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරන්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් රියදුරන් පොලිස් ඇප මත මුදාහැර තිබුණද, වැඩිදුර විමර්ශනවලින් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටින බව සඳහන් වෙයි.



















































