
ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට එක්ව සිටින ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ඉන්දීය ආරක්‍ෂක නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් විශ්‍රාමික අරුණ ජයසේකර මහතා හමුවී තිබේ.
ඊයේ (09) මෙම හමුවෙන් අනතුරුව ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් Ashutosh Dixit,නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar,යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් Sandeep Jain යන මහත්වරුන් ඇතුළු ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද ඊයේ පස්වරුවේ මෙලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවීමට එක්වී තිබේ.
මෙම ද්විපාර්ශ්වික හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන ආරක්ෂක සබඳතා හා ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
එමෙන්ම, කලාපීය හා සමුද්‍රීය ආරක්‍ෂක තත්ත්වයන්, නැගී එන නව මානයන්ගෙන් යුතු ආරක්‍ෂක අභියෝග, ආපදා පූර්ව සූදානම සහ ප්‍රතිචාර දැක්වීමේ කාර්‌යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම දෙරටේ සන්නද්ධ හමුදාවල පුහුණු හා හැකියාවන් තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව වෙත ඉන්දීය රජය, ජනතාව සහ සන්නද්ධ හමුදාවන් විසින් අඛණ්ඩව ලබාදෙනු ලබන සුහදශීලී සහයෝගය සහ උපකාර වෙනුවෙන් ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ගෞරවනීය කෘතඥතාව පළකළේය.
විශේෂයෙන්ම, 'දිට්වා' සුළි සුළං ආපදා අවස්ථාවේදී ඉන්දියාව විසින් දක්වන ලද කඩිනම් හා වටිනා මානුෂීය සහයෝගය අගය කළ ඒ මහතා, එමගින් දෙරට අතර පවතින නොබිඳෙන සමීප මිත්‍රත්වය, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් තහවුරු වන බව ප්‍රකාශ කළේය.



















































