
පසුගිය 15 වන දින හම්බන්තොට, කටුවන දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් විවිධ අර්ථකථන සහ වැරදි චිත‍්‍රයන් නිර්මාණය කරමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙම ඝාතනයෙන් පසුව ආණ්ඩුව ඝාතනයටත් වඩා සැහැසි කි‍්‍රයාවල නිරතවෙමින් සිටින බවත් ඒ මහතා පෙන්වාදෙයි.
මෙම ඝාතනයේ සැබෑ වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවට ආණ්ඩුවේ ප‍්‍රකාශකයින්, ආණ්ඩුවේ මාධ්‍ය සහ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක හරහා මෙම ඝාතකයින් ආරක්‍ෂා කිරීම සඳහා ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවට හෙතෙම චෝදනා කරයි.
ඝාතකයින් ආරක්‍ෂා කරමින් ඝාතනයේ වගකීම වෙනත් පාර්ශවයන් වෙත පැවරීම සඳහා දරන ප‍්‍රයත්නයක් පවතින බව ද පැලවත්ත, බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා,
සිද්ධිය සිදුවූ දින රාත්‍රී 9.00 පමණ වනවිට ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ල මහතා මාධ්‍ය වෙත කියනවා සිද්ධිය සිදුවී පැය දෙකක් ගතවීමටත් පෙර හම්බන්තොට වෙඩිතැබීම ජ.වි.පෙ. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් කියලා. අපි අහනවා ලක්‍ෂ්මන් හුළුගල්ල ඇඳුම් ඇඳගෙනද මේ ප‍්‍රකාශය කරල තියෙන්නේ?
මහජන රැස්වීමකට පාතාල කල්ලිකයක් වෙඩිතබලා, දෙදෙනෙකු ඝාතනය කරලා තව කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කරල තියෙන වෙලාවක ඔහු කියනවා මෙය ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් කියලා. ලක්‍ෂ්මන් හුළුගල්ලට අපි අභියෝග කරනවා මේ සඳහා පදනම් කරගත්ත නිරීක්‍ෂණ මොනවාදැයි රටට හෙළිකරන්න කියලා.
මහජන මුදල් වලින් වැටුප් ලබාගනිමින් යාන වාහන පාවිච්චි කරමින් ජාවාරම්කාර ව්‍යාපෘතිවලට මුදල් යොදවමින් සිටින කුප‍්‍රකට ගනුදෙනුකරුවන් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනරාල්වරුන් බවට පත්කර කරන මේ විගඩම ජනතාව හෙළාදැකිය යුතුයි. ඒ නිසා ඔහුගේ ප‍්‍රකාශය පිළිකුලෙන් යුතුව අපි හෙළාදකිනවා.
ඉන් අනතුරුව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ප‍්‍රකාශ කරනවා මෙය ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් විය හැකියි, ජ.වි.පෙ.න් හැරගිය පිරිසක කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් විය හැකියි, ඒ වගේම එක් අයෙක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබෙනවා ඒ පිළිබඳවත් විමර්ශනය කළ යුතුයි යනුවෙන්. ඔහු සිද්ධිය සම්බන්ධයෙන් අඩුම බර තැබීමක් කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නම් ගම් සහිතව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ලඝු කොට සලකමින් එම සිද්ධයේ වගකීම වෙනත් පාර්ශ්වයකට වක‍්‍රාකාරව යොමුකරමින් තිබෙනවා. පරීක්ෂණ නිසි පරිදි සිදුකරනවා වෙනුවට ඝාතකයින් ආරක්‍ෂා කිරීමේ කි‍්‍රයාන්විතයක ද පොලිස් ප‍්‍රකාශවරයා නිරත වෙලා ඉන්නවා. මේ රටේ මහ ජනතාවගේ බදුමුදල්වලින් වැටුප් ලබමින් වාහන භාවිත කරමින් තම නිල ඇඳුමේ ගරුත්වය පවා නොසලකා හරිමින් ඝාතකයින් ආරක්ෂා කිරීමට විවිධ ප‍්‍රකාශ කරමින් ඉන්නවා. ඔවුන් දරන මේ උත්සාහය ජනතා විමුක්ති පෙරමුණ පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
එමෙන්ම ඊයේ දිනයේත් ජාතික ආරක්‍ෂාව පිළිබඳව මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එහි අඩංගු වුණේ ජනතා විමුක්ති පෙරමුණ විසින් එක් එක් අවස්ථාවලදී ඉවත්ව ගිය පිරිස්වලට කළ පහරදීම් පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ලැබි තියෙන බවයි. එයිනුත් වක්‍රාකාරයෙන් උත්සාහ කර තිබෙනවා මේ ඝාතන සිදුවීමට ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුම් ප‍්‍රබල වී තිබුණ බව ඔප්පු කිරීමට.
කෙසේවෙතත් මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට හැකියාව තිබෙන්නේත් අපරිණත, දේශපාලන කණ්ඩායම්වල අඳ බාල කි‍්‍රයාමාර්ග. අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබෙනවා සැබෑ ඝාතකයන් අත්අඩංගුවට ගන්නවා වෙනුවට එහි වගකීම වෙනත් අයට පැවරීමට. මෙවැනි පැමිණිලි උපයෝගීකර ගැනීමට.
නමුත් මාධ්‍ය මධ්‍යස්ථානයට අමතක වෙලා තිබුණා මෙම ජ.වි.පෙ. හැරගිය අයට පහරදෙන්නේ ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කියලා ඒ අය චෝදනා කරපු එක. ඒ පිළිබඳවත් ආණ්ඩුවේ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළ යුතුව තිබුණා.
ඝාතනයෙන් පසු ආණ්ඩුව නිල වශයෙන් ප‍්‍රකාශ කොට තිබෙන්නේ ඉහත කී ප‍්‍රකාශ තුනයි. ඝාතනය සිදුවූ දින හුළුගල්ලගේ ප‍්‍රකාශය, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයාගේ ප‍්‍රකාශය සහ 16 වැනි දින නිකුත්කොට තිබෙන ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ නිවේදනය. වෙන කවරක්වත් මෙම ඝාතන සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ප‍්‍රකාශ වී නැහැ. මෙම ප‍්‍රකාශ තුනම පදනම් වෙන්නේ එකම අරමුණක් වෙනුවෙන්. එනම් මෙම ඝාතනය සිදුවී තිබෙන්නේ ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක් මගින්, ජ.වි.පෙ. හැරගිය අඳ බාල දේශපාලන කණ්ඩායම්වල හැසිරීම් මගින් යන්න සමාජයට ඒත්තු ගැන්වීමට.
ඔබ හිතන විදියට ආණ්ඩුවට සැබෑ ඝාතකයින් සඟවන්න වුවමනා වන්නේ ඇයි? පොලීසියට හෝ ආණඩුවේ අනෙකුත් නිලධාරීන්ට ඝාතකයන් සඟවන්න සිදුවන්නේ ආණ්ඩුවට ඝාතකයින් ආරක්ෂා කිරීමට සිදුවී තිබෙන නිසයි. ඇයි ඒ? මෙම ඝාතකයින්ට ආණ්ඩුවේ ඉහළම පිරිස්වල අනුදැනුම් සහිතව ආරක්‍ෂාව සහ රැකවරණය තිබෙනවා. එපමණක් නොව හම්බන්තොට නිජබිම කරගත් රජවරුන්ගේ සහ කුමාරවරුන්ගේ වුවමනාවන් මේ පාතාල කණ්ඩායම් හරහා සම්පූර්ණ කරගෙන තිබෙනවා.
අතීතයේදී විවිධ දේශපාලන කණ්ඩායම්වලට තාඩන පීඩන කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. එනිසා ආණ්ඩුවට සිදුවී තිබෙනවා මෙම කණ්ඩායම් ආරක්‍ෂා කිරීමට. මෙම පුද්ගලයින් අත්අඩංගුවට පත්වෙලා උසාවියේ ඉදිරිපිට අතීතය පිළිබඳව පාපෝච්චාරණයක් කළහොත් අහුවෙන්නේ රජතුමා සහ කුමාරවරුන්.
2006 ජුනි 30 වෙනිදා තංගල්ල හිරගෙදර මහ විශාල උද්ඝෝෂණයක් කළ අමරේ සහ මහින්ද එකට හිටපු උදවිය. ඒ දවස්වල මාධ්‍ය වාර්තා පළකරල තිබුණා අමරේ අමරේ මේ මම මහින්ද කියල හිරගෙදරදී කථා කරා කියලා. ඒ නිසා හරි පැහැදිලියි මේ පුද්ගලයන්ට රැකවරණය දී තිබෙන්නේ, ගිනි අවි දී තිබෙන්නේ අවශ්‍ය වන ඩිෆෙනඩර් රථ ලබාදී තිබෙන්නේ රජය මැදිහත් වෙලා. රජ පවුලේ අයට තියෙනවා මේනියාවක් ඔවුන්ගේ ප‍්‍රදේශයේ වෙන අයට දේශපාලනය කරන්න නොහැකි බවට.
මෙය අතීතයටත් විහිදෙනවා. 1997 බෙලිඅත්තේ මැතිවරණයේදී වැඩිම මනාප ලබාගත්ත පුද්ගලා ඝාතනයට ලක්වුණා. පරීක්ෂණ කෙලෙස සිදුවුණාදැයි අපි දන්නේ නැහැ. හම්බන්තොට සත්‍යපාල වන්නිගම සොයුරාගේ ඝාතනය, හම්බන්තොට ඉපදුණු කීර්තිධර විජේදාස ලියනආරච්චි සහෝදරයාගේ ඝාතනය යන ඝාතනයන් පිටුපස තිබුණු එකම අරමුණ හම්බන්තොට ප‍්‍රදේශයේ වෙන අයට මතුවෙන්න බැහැ කියන එක. ඒ මේනියාව තමයි අද කටුවන ප‍්‍රදේශයේ තමන්ට හිතවත් පාතාල කණ්ඩායම් හදාගෙන භීතියක් වපුරවල තිබෙන්නේ.
පුද්ගලයෙකු පොලීසියට පැමිණීලි කරන්න සූදානම් නැහැ. ප‍්‍රදේශයක් භීතියට පත්කරල තිබෙනවා. පොලීසියේ කි‍්‍රයාකාරිත්වනය අඩපණ කරලා නොයෙකුත් රාජ්‍ය ආයතනවල කි‍්‍රයාකාරිත්වය අඩපණ කරලා පාතාල නායකයන් ප‍්‍රදේශයන් අත්පත් කරගනිමින් පාලනය කරනවා. ඒ ආණ්ඩුවේ ඉහළම තැන්වල සහයෝගය ලබාගනිමින්. ඉතින් එහෙම පුද්ගලයින් තමයි මෙම ඝාතනයට සම්බන්ධ වෙලා තිබෙන්නේ.
ඔබ දන්නවා මැදමුලන ප‍්‍රදේශයත් මේ ආසන්නයේ තිබෙන්නේ. ඉතින් එවැනි ප‍්‍රදේශයක සාමාන්‍ය පුද්ගලයන්ට මෙලෙස හැසිරෙන්න බැහැ. පොලීසියේ නිලධාරීන්, රහස් පරීක්‍ෂකයින් සහ හමුදාව විශාල පිරිසක් යොදවලා තිබෙනවා. මැදමුලන වලව්ව පිහිටීමත්, කාල්ටන් නිවස පිහිටීමත් ඒ ප‍්‍රදේශය රජ පවුලේ භූමිය බවට පත්වීමත් නිසා ඉතා තදබල ආරක්‍ෂාවක් එම ප‍්‍රදේශවල පවත්වාගෙන යනවා.
එවැනි ප‍්‍රදේශයක මෝටර් සයිකල්වල ගිනි අවි කරේ දමාගෙන හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් ඇඳගනිමින් චිකාගෝ නුවර චණ්ඩින් වගේ හැසිරෙන්න පුලූවන් කාටද? ඔබ හිතනවද සාමාන්‍ය මිනිසෙකුට එලෙස හැසිරෙන්න පුලූවන් කියලා, සාමාන්‍ය ඇමතිවරයෙකුගේ ගෝලයෙකුට එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බැහැ. ඒනිසා ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින් මෙම ඝාතනයට සම්බන්ධ අය බව පැහැදිලියි. ඔවුන් අත්අඩංගුවට ගන්න ආණ්ඩුවට බැහැ. උසාවියකදී ඔවුන් පාපෝච්චාරණය කරන්න පටන් ගත්තොත් හම්බන්තොට වැළලී ගිය ඝාතන ඉතිහාසයත් එළියට ඒමේ අනතුර තියෙනවා.
ඒ නිසා අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට සිටින පොලීසිය උපයෝගි කරගෙන ඝාතන යටපත් කිරීමට උත්සාහ දරනවා. මේ ආණ්ඩුවේ හැසිරීම්වලින් පෙන්නුම් කරන්නේ ඝාතනයට සෘජුව තමන් සම්බන්ධ බව. මෙම ඝාතකයින් තමන්ගේ සුරතලුන් බව. එනිසා විවිධ වක‍්‍ර ප‍්‍රකාශ නිකුත් කරමින් පරීක්‍ෂණ පමා කිරීමට උත්සාහ දරනවා.
එම ස්ථානයේ සිටි එක් පුද්ගලයෙකු පැහැදිලි ලෙසම ඝාතකයන් හඳුනා ගත් බවත් ඔවුන් වෙඩිතැබීමට සම්බන්ධ වූ බවටත් පොලිස් පොතේ පැමිණිල්ලක් සඳහන් කොට තිබෙනවා. එම පැමිණිලිකරු මාධ්‍යයට අදහස් දැක්වූවා එම වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයන්ගේ නම සඳහන් කරලා. එනිසා සිද්ධියට අදාළ නැවුම් තොරතුරු තිබියදී පොලිස් ප‍්‍රකාශකවරයා පරණ ෆයිල් අවුස්සන්නේ මොකටද? පැමිණිලිකරු පැහැදිලිව ප‍්‍රකාශකර තිබෙනවා ඝාතනයට සම්බන්ධ කවුද කියලා. අඩුම තරමින් පොලීසිය ඔහුගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගන්න සමත් වෙලා නැහැ. කටුවන පොලීසියට, ඒ පොලීසියේ බලධාරීන්ට මෙම පුද්ගලයාගෙන් කටඋත්තරයක් ගන්න කොන්ද පණ නැහැ. ගන්න හැකියාවක් නැහැ. පොලීසිය එතැනට පත්කරල තියෙනවා. රට පුරා සිදුවන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාමාර්ගවලින් එකක් පමණයි මේ.
එනිසා මාධ්‍යවේදීන් ලෙස ඔබ සියලූදෙනාට වගකීමක් තිබෙනවා. අපේ රටේ ගවේශණශීලී මාධ්‍ය භාවිතාවක් තිබුණා. වැළලීයාමට තිබූ ඝාතනයන්, අපරාධ, මාධ්‍ය මගින් කරන ලද හෙළිදරව් කිරීම් නිසා සැකකරුවන් අත්අඩංගුවට ගන්න සිද්ධවුණා. කහවත්ත සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් අත්ඩංගුවට ගන්න සිද්ධවුණා.
ඒ නිසා මේ රටේ මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් මෙවැනි විශාල කාර්යයභාරයක් සිදුකරලා තියෙනවා. ඝාතකයන් අපරාධ, ආණ්ඩුව විසින් යටපත් කරන්න උත්සහ දරද්දී මාධ්‍යවේදීන්ගේ වගකීම නිසි පරිදි ඉටුකිරීම නිසා බලධාරීන්ට බලකරපු නිසා එම වරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුවුණා. එනිසා අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි සංස්කෘතියක් රටේ වර්ධනය වීමට ඉඩ දෙන්න එපා. එක පැත්තකින් ඝාතනය කරනවා, අනෙක් පැත්තකින් ඝාතකයින් ආරක්‍ෂා කරනවා. අනෙක් පැත්තෙන් එම ඝාතනයන් වෙන පාර්ශ්වයන්ට පටවන්න උත්සාහ කරනවා.
ඝාතනයත් අපරාධයක්. ඝාතකයින් ආරක්‍ෂා කිරීමත් අපරාධයක්. එහි වගකීම වෙන අයට පැටවීමත් ඊට වඩා සාපරාධීයි. ඒ අපි හිතනවා මාධ්‍යවේදී ඔබ එම කාර්යභාරය ඔබ ඉටුකරයි කියලා. මේ රට ඝාතකයින් වැජඹෙන එක රටේ ඉහළම නායකයන් හමුවේ ඝාතකයින් සුරතල් වුණු රටක් බවට පත්වීමට ඉඩ නොතබන ලෙස අපි ඉල්ලා සිටිනවා



















































