
වියළි කාගුණයත් සමග මේ වන විට දිවයිනේ ජලාශ ආශ්‍රිතව ගබඩා වී ඇති මුළු ජල ධාරිතාව 47.3%කට ආසන්න බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක (ජල කළමනාකරණ) එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.
එම ජලාශ අතුරින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල ගබඩා වී ඇති ජල මට්ටම 34.4%ක ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය.
අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවතින ජලාශවල ජල මට්ටම 20%කට ආසන්න අගයක් බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට යල කන්නයේ අවසාන අදියරට පැමිණ ඇති බැවින් මෙම ජල ප්‍රමාණය මෙම කන්නය සඳහා ප්‍රමාණවත් වන බවත් මෙම ජලාශ ආශ්‍රිතව පානීය ජලය සපුරා ගන්නා ප්‍රදේශ වෙතද මෙම පවතින ජල ප්‍රමාණය ඉදිරි වර්ෂාපතනය ලැබෙන තෙක් ප්‍රමාණවත් වන බවට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණයත් සමග ජලාශවලින් වාශ්පීකරණය වන ජල හානිය අධික බැවින් වගා කටයුතු, පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේදී අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද ඒ මහතා දන්වා සිටියේය.
තවද ඉදිරි මහ කන්නයේ සැලසුම් මේ වන විට සකස් කරන බවත් මහ කන්නය ආරම්භ කිරීමේදී පවතින ජල ප්‍රමාණයන් කන්න රැස්වීම්වලදි ගනු ලබන තීන්දු තීරණ අනුව මහ කන්නය හැකි ඉක්මනින් ආරම්භ කිරීමටද සැලසුම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

















































