
“Atlas Angel – 2026” ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ කර තිබේ.
ඊයේ (31) මෙම ගුවන් පුහුණු අභ්‍යාසය ආරම්භකළ බව ගුවන් හමුදාව පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එක්සත් ජනපද මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සහ පැසිෆික් ගුවන් හමුදාව සමඟ එක්ව මෙම අභ්‍යාසය සංවිධානය කර තිබේ.
දින පහක් පුරා පැවැත්වෙන මෙම පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් 04 වැනිදා දක්වා මහනුවර, දිගන, කොළඹ සහ කටුනායක යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.
අභ්‍යාසයේ කටයුතු අද (01) කොළඹ සහ කටුනායක ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අතර, ඒ වෙනුවෙන් පැවති ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිලධාරී සහ පුහුණු අභ්‍යාස සම්බන්ධීකරණ නිලධාරී එයාර් වයිස් මාර්ෂල් අමිත ජයමහ මහතාද ඊට එක්ව සිටියේය.
මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ ගුවන් අංශයේ සහකාර ඇඩ්ජුටන්ට් ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රේස් තෝමස් මහතා ඇතුළු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය මගින් ශ්‍රී ලංකාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර ගුවන් හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දෙරටේ ගුවන් හමුදා සාමාජිකයින්ගේ පුහුණු හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.

















































