
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත්ව ඇති සියලු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ඒ පිළිබඳ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුවත් කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා අදහස් දක්වමින් අද (01) පැවසුවේ ඒ අනුව ජනමත විචාරණයකට යා යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනු ඇති බවය.
කෙසේ වෙතත් අදාළ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පිට ජනමත විචාරණයක් පැවැත්වීම කිසිසේත් සිදුකළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා එය පෙත්සම් ඉදිරිපත් කළ සියලු පාර්ශ්වයන් දැනගත යුතු බවද සඳහන් කළේය.
ඒ අනුව අද සිට සති තුනක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට කාලය ඇති බවත් ඒ අනුව අදාළ පෙත්සම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව අවසන් තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් අමාත්‍යයවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
"මේ පෙත්සම් සියල්ලම සලකලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරාවී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත්ද නැත්නම් තුනෙන් දෙකට අමතරව ජනමත විචාරණයකුත් අවශ්‍යද කියලා. විපක්ෂය හරි ආණ්ඩු පක්ෂය හරි කවුරු හරි එහෙම ඉල්ලාවයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පිට ජනමත විචාරණයක් දෙන්න කාටවත් බෑ. ඒක පෙත්සම් ඉදිරිපත් කරපු හැමෝම දැනගන්න ඕනේ. අද ඉඳලා සති තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට කාලය තියෙනවා තීන්දුව ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට ඊට පස්සේ අපි බලමු. ඒ ජනමත විචාරණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීම හෝ ජාතික ජන බලවේගය ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම අතර කිසිම සම්බන්ධයක් නෑ."

















































