
හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාත් නොකළ ආකාරයේ ඒකාධිපතිත්වයක් වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නංවමින් සිටින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මහනායක හිමිවරුන්ගේ අනුශාසනාවත් නොපිළිගන්නා තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවය.
බුත්තල අද (30) පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
සර්වජන බලයේ මොනරාගල දිස්ත්‍රික් කොට්ඨාස නායකයින් සඳහා පත්වීම් ලබාදීමේ උත්සවය අද පස්වරුවේ බුත්තල පොළ භූමියේදී පැවැත්වුණි.
ඒ සර්වජන බලයේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
"ඩෝබි කමෙන්ටු බලකාය ගහනවා මේ එන්නේ තව රාජපක්ෂ අවතාරයක් කියලා. 2014දී අද අමෙරිකාවට ගිහිල්ලා හැංගිලා ඉන්න මේ රටේ ජාතිකවාදී දේශපාලනය විනාශ කරපු, අදටත් විනාශ කරන බැසිල් කුමන්ත්‍රණකාරීව අවුරුදු දෙකකට කලින් ඡන්දය තියලා මහින්ද මහත්තයාව ගෙදර යවලා ඉක්මනට ජනපති වෙන්න ඒ සිහිනයෙන් කටයුතු කරද්දී අපි කම්පාවෙලා පැත්තකට වුණා. අද මේ අපි මේ තත්ත්වයට ඇදලා දාලා අද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිම වශයෙන් අභියෝගයට ලක්වෙලා. ජේ.ආර්.ජයවර්ධනවත් කිව්වේ නැහැ, මට ඕන දේ මං කරනවා මහනායක හාමුදුරුවෝ කිව්වත් අහන්නේ නැහැ කියලා. කිසිම ජනපතිවරයෙක් මෙතෙක් කිව්වේ නැහැ, කිව්වේ මේ ජනපති විතරයි. එතකොට මෙතරම් ඒකාධිපති ජනපතිවරයෙක් බිහිකරන්න මේ රටේ මිනිස්සු නෙවෙයි කටයුතු කළේ මේ රටේ ආත්මාර්ථකාමී දේශපාලනඥයෝ. ඒක කළේ මේ රටේ මිනිස්සු නෙවෙයි, ඒක කළේ දේශපාලනඥයෝ ඔබලාගේ මුහුණක් මුහුණ දකින පාසා මට දැනෙන කණගාටුව. එයින් මතුවෙන හෘදසාක්ෂියට විරුද්ධව මොන දේශපාලනය කරන්නටද අපි ඇවිල්ලා තියෙන්නේ.
ඔබේ ඡන්දය අරගෙන ගිහිල්ලා මේ රටේ ජනපති වුණත් වැඩක් නැහැ හෘද සාක්ෂියට එකඟව මේ දේශපාලනය නොකර. අපි කරන මේ දේශපාලනය, ප්‍රගතිශීලි බලවේග එකතු කරගන්නට කරන එකක්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ පක්ෂවලට මුක්කු ගහනවා කියලා. දේශපාලන පක්ෂවලට මුක්කු ගහන්නවත් පරම්පරාවෙන්, පවුලෙන් දේශපාලනයට ආවා පිය උරුමයෙන් නායකත්වය හිමියි කියලා කවුරුහරි හිතාගෙන ඉන්නවානම් එය වෙනස්විය යුතු කාලය ඇවිල්ලා තියෙනවා. එය තමනුත් තමනුත් හිතාගන්නට ඕනේ මේ රටේ කිසිදෙයක් පිය උරුමයෙන් හම්බු වෙන්නේ නැහැ තමන්ට උරුමයක් තියෙනවානම් ඒ උරුමය එන්නේ මේ රටේ මහජනතාවගේ සෙනෙහස තුළින් පමණයි."

















































