
මුලතිව්හි ඓතිහාසික කුරුන්දි රජ මහා විහාර භූමියේ ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස එහි විහාරාධිපති පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක්කර තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වෙත ලිඛිතව අදාළ ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වේ.
කුරුන්දි විහාර භූමියේ කැණීම් සහ සංරක්ෂණ කටයුතු ආරම්භ කළ අවධියේ සිට පොලිස් නිලධාරීන් ආරක්ෂාව පිණිස රැදී සිටි අතර, ඔවුන් පුරාවිද්‍යා රක්ෂිත භූමියට අනවසරයෙන් ඇතුළුවී නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සිදුකළ බව උන්වහන්සේ අදාළ ලිපිය මගින් දැනුම්දී තිබේ.
එවන් ආරක්ෂක කාර්යයන් ඉටුකළ පොලිස් නිලධාරීන් විහාර භූමියෙන් ඉවත් කිරීම තුළින් පුරාවස්තු, පුරාවිද්‍යා රක්ෂිතය මෙන්ම වන සංරක්ෂණ රක්ෂිතය ද දැඩි අවදානමකට ලක්ව ඇති බවයි විහාරාධිපති හිමියෝ ලිපිය මගින් පෙන්වා දෙන්නේ.
විටින් විට මෙම ස්ථානයට විවිධ අන්තවාදි කණ්ඩායම් විවිධ උද්ඝෝෂණ ආදිය සඳහා පැමිණිය ද, ඒවා වැළැක්වීම සඳහා සිවිල් ආරක්ෂක බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ට පමණක් බවද එහි සඳහන්ය.
එබැවින් ඉවත් කරන ලද පොලිස් ආරක්ෂාව නැවත ලබාදෙන ලෙස පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි හිමි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

















































