
ඉන්දීය නාවික හමුදාවේ ආරාධනයකට අනුව ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත වූ මෙරට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා නැවත දිවයිනට පැමිණියේය.
අද (30) පස්වරුවේ මෙරටට පැමිණි නාවික හමුදාපති මෙම සංචාරය අතරතුරදී දෙරට අතර පවතින සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාවය සහ කලාපීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරගැනීම අරමුණු කරගනිමින්, ඉන්දීය නාවික හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ අදාළ අංශ සමඟ උපාය මාර්ගික මට්ටමේ නිල හමුවීම් හා විශේෂ සාකච්ඡා කිහිපයක් සඳහා සහභාගී විය.
පසුගිය අගෝස්තු 27 වන ඉන්දියාවේ නවදිල්ලි නුවර සවුත් බ්ලොක් පරිශ්‍රයේ පිහිටි ඉන්දීය නාවික හමුදා මූලස්ථානය පිවිසි මෙරට නාවික හමුදාපති වෙත, විදෙස් නාවික හමුදාපතිවරයෙකු වෙනුවෙන් පිරිනැමෙන ඉහළම නාවික හමුදා සම්ප්‍රදායානුකූල ගෞරව සහිත සම්මාන ආචාර මුරයක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කෙරිණි.
එලෙස පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ක්‍රිෂ්ණා ස්වාමිනාදන් මහතා අතර විශේෂ නිල හමුවක් පවත්වා තිබේ.
එහිදී, ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් දෙරටේ නාවික හමුදා අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම, පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පුළුල් කිරීම ඇතුළු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු පිළිබඳව දෙපාර්ශ්වය අතර උපාය මාර්ගික මට්ටමේ අදහස් හුවමාරුවක් සිදුකෙරිණි.
මෙම නිල සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාපතිතුමන් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එන් එස් රාජා සුබ්‍රමනි, ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං සහ ගුවන් හමුදා උප ප්‍රධානී එයාර් මාර්ෂල් අසුතෝෂ් ඩික්සිත් යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පැවැත්වීය.
ඊට අමතරව ඉන්දීය ආරක්ෂක නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියෝජිතයින් සමඟ ද නවදිල්ලි නුවරදී විශේෂ හමුවීම් සිදු කෙරිණි.
මෙම හමුවීම්වලදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා සැලැස්ම, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් මෙන්ම ඉන්දීය සාගර කලාපයේ ගුවන් සහ සමුද්‍රීය සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
එමෙන්ම, දෙරටේ නාවික හමුදා පුහුණු හා සංවර්ධන ක්‍ෂේත්‍රයෙහි සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා නාවික හමුදාපති ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ කෝචි නුවර පිහිටි ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධාන මූලස්ථානයේ දී, ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ධජ නිලධාරි, වයිස් අද්මිරාල් සමීර් සක්සේනා සමඟ නිල හමුවක් පැවැත්විණි.
දෙරටේ නාවික හමුදා අතර පවත්නා පුහුණු හුවමාරු වැඩසටහන් සහ නව පුහුණු අවස්ථා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර එහිදී අදහස් හුවමාරු කර ගැනීම සිදුකෙරිණි.
ශ්‍රී ලංකා නාවික හමුදාධිපති විසින් අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව හැදෑරු ඉන්දීය නාවික හමුදාවේ INS Dronacharya පුහුණු පාසලෙහි සිදු කෙරුණු නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව, නාවික හමුදාපතිගේ තෙදිනඉන්දීය නිල සංචාරය මෙලෙස සාර්ථකව නිමාවට පත්විය.

















































