
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර, පහරදී තුවාල සිදුකිරීම සහ අයුතු අවහිරය යන චෝදනාවලට වරදකරු වී වසර එකහමාරක සිරදඬුවම් නියම වී සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද (24) ඇප මත මුදාහැරුණි.
ඒ, ඔහු නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ අභියාචනයට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අයුතු අවහිරය, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කිරීම යන චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් පසුගිය ජුලි 28 වැනිදා බදුල්ල මහාධිකරණයෙන් වසර එක හමාරක සිරදඬුවමක් නියම කෙරුණි.
කෙසේවෙතත් මන්ත්‍රීවරයා විසින් ඊට එරෙහිව නීතිඥයින් මාර්ගයෙන් අභියාචනයක් ගොනු කරනු ලැබීය.
අදාළ අභියාචනයට යටත්ව ඔහුගේ ඇප අයැදුම අද කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා ඇප ඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතාවයක් නොදක්වන බව සඳහන් කළේය.
ඒ අතර චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීවන සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ මන්ත්‍රීවරයාගේ පියා පෙරදින රාත්‍රියේ අභාවප්‍රාප්තව ඇති බවයි.
පුත්‍රයාගේ සිරදඬුවම නිසා ඔහු සිත්තැවුලට පත්ව රෝගීව සිටි බවත් ශල්‍යකර්මයකින් පසුව මියගොස් ඇති බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පවසා ඇත.
චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ළඟින්ම සිටි ඔහුගේ කුඩා දරුවා මානසික ආතතියකට පත්ව ඇති බව පැවසූ සුජීවන සිල්වා මහතා මනෝ රෝග විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා විසින් දෙන ලද වෛද්‍ය සහතිකයක්ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
කරුණු සළකා බැලීමෙන් අනතුරුව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා නියෝග කළේය.
එමෙන්ම මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනමක්ද පැනවීය.
මේ අතර, ඇප හිමිවීමෙන් අනතුරුව බදුල්ල බන්ධනාගරයේ රඳවා සිටි චමින්ද විජේසිරි මහතා බන්ධනාගාර රථයකින් බදුල්ල මහාධිකරණයට රැගෙන ඒමෙන් අනතුරුව මහාධිකරණ කාර්යාලයට ගොස් ඇප සඳහා අත්සන් යෙදීමන් පසු අධිකරණ පරිශ්‍රයෙන් පිටව ගියේය.
අනතුරුව සිය අභාවප්‍රාප්ත වූ පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට බණ්ඩාරවෙල බලා ඔහු පිටත්ව ගොස් තිබේ.
















































