
8 වන සහ 9 වන පාර්ලිමේන්තු සභාවාරයන් පිළිබඳව විගණන වාර්තාවෙන් විශේෂ කරුණු රැසක් හෙළිදරව් කර තිබේ.
ඒ අනුව එම සභාවාරයන් හිදි පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක ඇතුළු අනෙකුත් තනතුරු සම්බන්ධව ඉන්ධන දීමනා සහ වියදම් රැසක් පිළිබඳව කරුණු මෙම විගණන වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.
විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ කථානායකවරයාට ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් සීමාවන් පනවා නොතිබීම හේතුවෙන් සීමා රහිත ලෙස ඉන්ධන භාවිතා කිරීමට අවස්ථාව සලසා දී ඇති බව විගණනයට නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව 9 වන පාර්ලිමේන්තුවෙහි අවසන් වර්ෂ දෙක වන 2023 සහ 2024 වර්ෂයන් තුළදී කථානායකවරයා විසින් සාමාන්‍යයෙන් මාසිකව පිළිවෙළින් ඉන්ධන ලීටර් 3,994ක් හා 6,122ක් භාවිත කර ඇති බවත් මෙම ලීටර් ප්‍රමාණයේ වර්ධනය 2022 වර්ෂයට සාපේක්ෂව පිළිවෙළින් 66%ක් හා සියයට 155%ක ප්‍රශ්නගත වර්ධනයක් ලෙස නිරීක්ෂණය වී ඇතැයිද විගණන වාර්තාව පෙන්වා දී තිබේ.
අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ 2023 හා 2024 වර්ෂයන් දෙක සඳහා ඉන්ධන වෙනුවෙන් වාර්ෂිකව පිළිවෙළින් රුපියල් 19,373,866ක් සහ රුපියල් 26,045,103ක වියදමක් දරා තිබූ බවත් එය අනෙකුත් වර්ෂයන් හා සැසඳීමේදී සැලකිය යුතු ප්‍රමාණයක වැඩි වීමක් බවත්ය.
තවද නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට සමාන කරමින් නියෝජ්‍ය කථානායක ධුරයට කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් සඳහා හිමි වරප්‍රසාද හා දීමනා ලබා දීමට පසුගිය 2028 නොවැම්බර් 05 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණද කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි ඉන්ධන සීමාවන් පිළිබඳව නොසලකා සීමාරහිත ලෙස ඉන්ධන භාවිත කිරීමට නියෝජ්‍ය කථානායකවරයාට අවස්ථාව සලසා දී ඇති බවත් විගණන වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.
එමෙන්ම ජනාධිපති ලේකම්වරයාගේ රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය ප්‍රකාරව නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හිමි නිල වාහන සංඛ්‍යාව 03ක් වන අතර එම චක්‍රලේඛය නියෝජ්‍ය කථානායක තනතුර සඳහා ද අදාළ වන බැවින් නියෝජ්‍ය කථානායක තනතුර වෙනුවෙන්ද වාහන 03ක් නිල වශයෙන් හිමි විය යුතු වුවත් 2023 හා 2024 කාලපරිච්ඡේදය තුළදී නියෝජ්‍ය කථානායක හිමිකම් ලබන නිල වාහන තුනට අතිරේකව පෞද්ගලික මෝටර් රථයක් සඳහාද රුපියල් 8,545,037ක ඉන්ධන ලීටර් 21,299ක් නියෝජ්‍ය කථානායකට හිමි සීමාව ඉක්මවා ලබාගෙන ඇති බවත් අදාළ වාර්තාව මගින් හෙළිදරව් කර ඇත.
මීට අමතරව නියෝජ්‍ය කථානායක ධුරය කැබිනට් නොවන අමාත්‍ය ධුරයක් හා සමාන කර ඇති හෙයින් 2022 නොවැම්බර් මස සිට වර්ෂයකට නියෝජ්‍ය කථානායක ධුරය සඳහා හිමි ඉන්ධන ප්‍රමාණය ලීටර් 18,000ක් වන අතර පෞද්ගලික වාහනයට 2023 හා 2024 වර්ෂයන් හිදි නිකුත් කෙරුණු ඉන්ධන ලීටර් 21,299ට අමතරව පාර්ලිමේන්තුවෙන් ලබා දෙන නිල වාහන 03 සඳහාද නියමිත ප්‍රමාණය ඉක්මවා 2023 වර්ෂයේදී ඉන්ධන ලීටර් 6,980ක් සහ 2024 වර්ෂයේදී නිල වාහන 2ක් සඳහා නියමිත ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලීටර් 1,515ක් දරා තිබුණු බවත් නිරීක්ෂණය වී ඇතැයි විගණන වාර්තාවේ සඳහන්ව තිබේ.
මේ අතර නියෝජ්‍ය කථානායක තනතුරට පහළ තනතුරක් ලෙසට සැලකෙන කාරක සභා සභාපති තනතුර සඳහා ද නිල වාහන තුනක් වෙන්කර සීමා රහිත ලෙස ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇති බවත් මෙම තනතුර සඳහා හිමි ඉන්ධන ප්‍රමාණය හෝ වාහන සංඛ්‍යාවක් තීරණය කිරීමට කටයුතු කර නොතිබුණු බවත් එහි සඳහන්ව ඇත.
පාර්ලිමේන්තු මහලේකම් එකවර නිල වාහන දෙකක් භාවිත කරලා
විගණන වාර්තාව පෙන්වා දෙන පරිදි පසුගිය 2022 සහ 2023 වර්ෂයන් හිදී පාර්ලිමේන්තු මහ ලේකම් විසින් නිල වාහන දෙකක් එකවර භාවිත කර ඇති බවට විගණන වාර්තාව විසින් හෙළිදරව් කර ඇති අතර එම නිල වාහන දෙකෙහිම ධාවන සටහන් පත්‍ර පරීක්ෂාවේදී එකම කාල පරිච්ඡේදය සඳහා එම නිල වාහන දෙකම ධාවනය සඳහා ලබා ගෙන ඇති බවටද නිරීක්ෂණය වී තිබේ.
එමෙන්ම මහ ලේකම් තනතුර සඳහා ඉන්ධන භාවිතය සඳහා සීමාවන් පැනවීමකින් තොරව සීමාරහිත ඉන්ධන භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබුණු බව නිරීක්ෂණය වී ඇති බවත් එහි සඳහන්ව ඇත.
තවද 2024 නොවැම්බර් 30 දිනැති හැන්සාඩ් වාර්තාවට අනුව මහලේකම්වරයාගේ දීමනා ආයතන සංග්‍රහයට අනුව සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට හිමි ප්‍රමාණයන්ගෙන් ලබාදිය යුතු බවටට දක්වා තිබුණද පාර්ලිමේන්තු මහලේකම් තනතුර සඳහා එවැනි සීමාවන් පැනවීමට කටයුතු කර නොමැති බවත් එමගින් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලය තුළ පාර්ලිමේන්තු මහ ලේක්ම්වරයා විසින් රුපියල් 6,071,690ක් වටිනා ඉන්ධන ලීටර් 15,063ක් භාවිත කර ඇති බවත් එම ඉන්ධන ලීටර් ප්‍රමාණයෙහි වාර්ෂික සාමාන්‍ය ලීටර් 5,031ක් සහ එය වර්ථමානය වන විට රාජ්‍ය සේවයේ ඉහළම ඉන්ධන ප්‍රමාණයයක් හිමිවන අමාත්‍යාංශ ලේකම් තනතුරක් හා සැලකීමේදී ලීටර් 2,300ක ප්‍රමාණයකින් වැඩිපුර ලබා ගැනීමක් බවද නිරීක්ෂණය වී තිබේ.
අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලැබී නැති වරප්‍රසාදයක්
මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා සහකාර මහලේකම් වැනි තනතුරු හා සමාන තනතුරු දරන නිලධාරීන් සඳහා වරප්‍රසාදයක් ලෙස රාජකාරි ගමන් සඳහා සීමා රහිත ඉන්ධන ලබා දෙන අතර ඊට අමතරව පෞද්ගලික ගමන් සඳහාද මාසිකව උපරිම දුර කිලෝමීටර් 1,200ක්ද අනෙකුත් සෑම දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු වෙත මාසිකව උපරිම දුර කිලෝමීටර් 960ක් භාවිත කිරීමට අවස්ථාව ලබා දී තිබුණු බව නිරීක්ෂණය වී තිබේ.
ඒ අනුව මෙම වරප්‍රසාදය අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දී නොමැති ප්‍රතිලාභයක් බව නිරීක්ෂණය වී ඇති අතර එම ප්‍රමාණයන් සම්බන්ධයෙන් විදිමත් විශ්ලේෂණයක් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයන් පාර්ලිමේන්තුවටද අනුගත කර ගැනීම තුළන් හෝ වෙනත් පාලනය කළ හැකි ක්‍රමවේදයක් භාවිත කරමින් නියෝජ්‍ය මහ ලේකම්, සහකාර මහ ලේකම් හා අනෙකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ලබා දී තිබුණ මෙම වරප්‍රසාදය මෙම නිලධාරීන් හා සම මට්ටමේ සිටින අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති සීමාවන් තුළ පාලනය කිරීම සඳහා කටයුතු කර නොතිබුණු බවත් මෙමගින් පෙන්වා දී ඇත.
තවද මෙම වරප්‍රසාදයෙන් ලබා දී ඇති කිලෝමීටර් ගණන ඉක්මවා පෞද්ගලික ගමන් සිදුකර ඇති අවස්ථාවන් හිදි පෙර මාසයෙන් ඉතිරිව ඇති කිලෝමීටර් ගණන ද අඩු කළ පසුවද වැඩිපුර භාවිතා කර ඇත්නම් එම ප්‍රමාණය සඳහා එක් කිලෝමීටරයක් සඳහා 2022 ජූනි දක්වා අයකර තිබූ රුපියල් 8ක ප්‍රමාණය වෙළඳපළ පවත්නා ඉන්ධන මිල ගණන් සැසඳීමේදී ප්‍රමාණවත් නොවන බව විගණනයට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව නියමිත වෙළෙඳපොළ මිල අයකිරීමකින් තොරව රුපියල් 8ක මුදල් පමණක් අය කිරීමට තීරණය කිරීම හේතුවෙන් 2015 සැප්තැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළදී සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් ( පාලන)ගෙන් රජයට අයකර ගැනීමට හැකි තිබූ රුපියල් 512,312ක් සහකාර පාර්ලිමේන්තු මහ ලේකම් (ව්‍යවස්ථාදායක සේවා) ගෙන් රුපියල් 1.107,876ක් ලෙස එකතුව රුපියල් 2,712,995ක මුදලක් රජයට අහිමි වී ඇතැයිද මෙම වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
කෙසේ නමුත් 2022 ජූලි මාසයෙන් පසුව සීමාව ඉක්මවා වාහන පෞද්ගලිකව භාවිත කළේ නම් වැයවන ඉන්ධන ප්‍රමාණයට අදාළව වෙළෙඳපොළ මිල ගණන් ගැලපීමක් සිදුකර තිබුණු අතර ඉන් පසු කාලපරිච්ඡේදයේදී සීමාව ඉක්මවා වාහන භාවිත කිරීම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබුණු බව නිරීක්ෂණය වී ඇතැයිද විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


















































