
අමෙරිකාව සහ කැනඩාව අතර පැවැති ද්විපාර්ශ්වික වෙළෙඳ සාකච්ඡා අවසන් මොහොතේ බිඳ වැටීමත් සමග, අමෙරිකානු භාණ්ඩ සඳහා 'ඩොලරයට ඩොලරයක්' යන පදනම යටතේ ප්‍රති තීරුබදු පැනවීමට කැනඩා රජය තීරණය කර තිබේ.
කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක අමතර තීරුබද්දක් පැනවීමට අමෙරිකාව ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගෙන ඇත.
අමෙරිකාව සහ කැනඩාව අතර එකඟ වී තිබූ වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට කැනඩාව අසමත් වූ බව පවසමින්, අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම 50%ක බද්ද පනවන බව අමෙරිකාව නිවේදනය කර තිබුණි.
පෙර සැලසුම් අනුව අගෝස්තු 19 වන විට කැනඩා ඩොලර් බිලියන 28ක (අ.ඩො. බිලියන 20කට ආසන්න) කැනේඩියානු ආනයන සඳහා මෙම 50%ක බද්ද පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු අඟවා තිබුණි.
එම තීරණය වෙනස් කරගැනීමේ අරමුණින් ඉකුත් ජූලි මාසයේ සිට කැනේඩියානු නියෝජිතයෝ අමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡාවල නිරත වූහ.
කෙසේ වෙතත් සාකච්ඡා බිඳ වැටීම පිළිබඳ අදහස් දක්වමින් කැනඩා අගමැති මාර්ක් කාර්නි ප්‍රකාශ කළේ, අමෙරිකාව විසින් යෝජිත කොන්දේසිවලට අවසාන මොහොතේ අසාධාරණ සංශෝධන එක්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බවයි.
ඒ අනුව, අමෙරිකාව සමග පවත්වන වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවා නැවත සිය රටට පැමිණෙන ලෙස අගමැතිවරයා කැනේඩියානු සාකච්ඡාකරුවන්ට උපදෙස් දී තිබේ.


















































