
අනුරාධපුර, පැරණි මිහින්තලා පාර, ගඟබඩ මාවත ප්‍රදේශයේ පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකට ලක්වී මියගොස් තිබේ.
ඊයේ (22) උදෑසන තල් කුරුම්බා සෙවීම සඳහා අනුරාධපුර ජේතවනාරාමය ආසන්නයේ පිහිටි කැලෑ ප්‍රදේශයකට ගිය එම පුද්ගලයා එහිදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන් වේ.
බඹර ප්‍රහාරයෙන් අනතුරුව නිවසට පැමිණි ඔහු රජයේ රෝහලකට නොගොස් පෞද්ගලික රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගෙන තිබේ.
එහිදී එන්නත් දෙකක් ලබාගෙන ඇති අතර, බීමට ලබාදුන් ඖෂධද රැගෙන ඔහු යළි නිවසට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, අද අලුයම නිවසින් පිටතට පැමිණ ඇති ඔහු නිවසේ ඉදිරිපස දොරටුව ආසන්නයේ බිම වැටී සිටිනු නිවැසියන් දැක තිබේ.
ඒ වන විටත් ඔහු මියගොස් සිටි බව නිවැසියන් පවසයි.
මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


















































