
පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ අනතුරු කිහිපයකින් කුඩා දියණියක ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රාගම වල්පොල මාර්ගයේදී පාලනයෙන් ගිලිහුණු ලොරි රථයක් ඉදිරියෙන් පැමිණි කාර් රථයක සහ තවත් ලොරි රථයක ගැටී, අනතුරුව මාර්ගය අයිනේ ගමන් කළ මවක සහ ඇගේ දරුවන් දෙදෙනාගේ ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ 08 හැවිරිදි දියණිය රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සිද්ධියට සම්බන්ධයෙන් ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.
ඉපලෝගම, අක්කර 500 කලාවැව මාර්ගයේ කුසලානගම ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඕට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
එමෙන්ම ගණේමුල්ල, පහළගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 67 හැවිරිදි පහළයාගොඩ පදිංචිකරුවෙකු වේ.
මේ අතර යාපනය - කිලිනොච්චිය මාර්ගයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ද තරුණයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.
එමෙන්ම මාරවිල, කටුනේරිය ප්‍රදේශයේදී ලොරි රථයක් මාර්ගය අයිනේ ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
කෙසේවෙතත් අනතුරින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.


















































