
ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන කුඹල් පෙරහර හෙට (20) වීථි සංචාරය කිරීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
අගෝස්තු 18 වන දින ආරම්භ වූ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 28 වන දින දක්වා පැවැත්වෙන අතර, මහනුවර නගරයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන තදබදය අවම කිරීම සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම් ඇතුළු පුළුල් වැඩපිළිවෙළක් දියත් කර ඇත.
තෙවන කුඹල් පෙරහර හෙට සවස 18:53 ට මාලිගාවෙන් ආරම්භ වේ.
දළදා වීදියෙන් ගමන් මාර්ගය ආරම්භ වී ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගාවට ගෙවැදීමට නියමිතය.
ඒ අනුව කිලෝමීටර් 1 යි මීටර් 250 ක් පෙරහැර ගමන් කිරීමට නියමිත බව සඳහන් වේ.
රථවාහන සැලැස්ම සහ විකල්ප මාර්ග
පෙරහර කාලසීමාව තුළ මහනුවර නගරය තුළ ගමන් ගන්නා රියැදුරන් සඳහා පහත විකල්ප මාර්ග හඳුන්වා දී ඇත.
කටුගස්තොට සිට පැමිණෙන බර වාහන - මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දිය හරහා නගරයට පිවිසිය හැකිය.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන - ඩී.එස්. සේනානායක වීදිය - හරස් වීදිය - යටිනුවර වීදිය ඔස්සේ පැමිණ දකුණට හැරී, මීරමක්කම් පල්ලිය අසලින් වමට ධාවනය කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැකිය.
කටුගස්තොට දෙසට පිටවන වාහන - පොලිසිය හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට ගමන් කළ යුතුය.
තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන - සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවතෙන් දකුණට හැරී බෝගම්බර, දුම්රියපොළ අසලින් කොළඹ දෙසට (වම් පසට) හෝ නගරය දෙසට (දකුණු පසට) ගමන් කළ හැකිය.
එසේම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේද නගරයට ඇතුළු විය හැක.
නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන - ඔරලෝසු කණුව වටරවුමෙන් දළඳා වීදිය ඔස්සේ පැමිණ, රැජිණ හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසු කර සංඝරාජ මාවත ඔස්සේ ගමන් කළ හැකිය. තවද, බෝගම්බර වට රවුමේ ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහාද අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට යා හැක.
කොළඹ දෙසින් පැමිණෙන සහ පිටවන වාහන - විලියම් ගොපල්ලව මාවත සහ පරණ පේරාදෙණිය පාර දෙපසම ඒ සඳහා භාවිතා කළ හැකිය.
මෙම විශේෂ ආරක්ෂක හා රථවාහන විධිවිධානයන්ට පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් සහ රියැදුරන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.








































