වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ සිද්ධියට සිව්දෙනෙකු අත්අඩංගුවට

July 24, 2026   06:39 pm

වත්තල, කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදීමේ චෝදනා මත කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට ද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු වුට්ලර් මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම වෙඩි තැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා ඇති බව ද සඳහන් වේ.

ඊයේ රාත්‍රී වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති සාදයකට කඩා වැදුණු තුවක්කුකරුවකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන මටටක්කුලියේ කුඩු රොශාන් නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර තිබු නමුත් ඉලක්කය වැරදීමෙන් ඔහු අසල සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව ද පොලිසිය සදහන් කළේය.