ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්

ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අතුරුගිරියේ අනතුරක්

July 17, 2026   06:27 am

ගොඩගම - බොරැල්ල ප්‍රධාන මාර්ගයේ අතුරුගිරිය ගෝවින්න මාවත අසලදී ටිපර් රථයක් සහ කාර්ය මණ්ඩල ප්‍රවාහන බස් රථයක් අද අලුයම මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවුණි.

අනතුරත් සමග එම මාර්ගයේ ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් අවහිරවී තිබූ බව වාර්තා වෙයි.

අද අලුයම 4.15 පමණ මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් සුළු තුවාල ලැබූ පුද්ගලයින් 20කට ආසන්න පිරිසක් ඔරුවල සහ හෝමගම මූලික රෝහල්වලට ඇතුළත් කෙරුණි.

බස් රථයේ රියදුරු පැයයි විනාඩි 45ක පමණ කාලයක දැඩි පරිශ්‍රමයකින් අනතුරුව පිටතට ගෙන රෝහල්ගත කිරීමට පියවර ගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

අප වාර්තාකරු පැවසුවේ, අනතුරින් ටිපර් රථයට සහ බස් රථයට දැඩි හානි සිදුව ඇති බවය.

අනතුරත් සමග එම මාර්ගයේ ගමනාගමනය පැය දෙකකට ආසන්න කාලයක් ඇණහිට තිබූ බවයි වාර්තා වෙයි.

අනතුර සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.