සබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ

සබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කෙරේ

July 16, 2026   09:14 pm

වෙළෙඳපොළේ ඇති සබන් වර්ග කිහිපයක් ආනයනය කිරීම, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම හෝ විකිණීම සිදු කිරීමේදී ඒවායේ ඇසුරුම්වල හෝ ලේබලයේ නිශ්චිත තොරතුරු මුද්‍රණය කර තිබීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නව විධාන ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 

2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1) (අ) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියෝගය පනවා ඇත.  

නව විධානය නිෂ්පාදකයින්, ආනයනකරුවන්, බෙදාහරින්නන්, ගබඩාකරුවන් සහ වෙළෙඳුන්ට අදාළවන පරිදි පනවා තිබේ.

ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය ඝන අකුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා අතුරින් භාෂා දෙකකින් ප්‍රධාන රාමුව මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවකද සටහන් කළ යුතුය.
  
ඇසුරුම් කරන ලද අවස්ථාවේදී නිෂ්පාදනයේ අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස පැහැදිලිව, ප්‍රකටව සහ මිලිමීටර් 2 (මි.මී. 2) ට නොඅඩු ඝන අකුරින් මුද්‍රණය කළ යුතුය.  

මෙම විධානය අදාළ වන සබන් වර්ග (උපලේඛනය) මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවීන් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ පරිදි 2027 වර්ෂයේ ජූලි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම විධිවිධාන ක්‍රියාත්මක වේ.