ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030 වැඩසටහන කතරගමෙන් ඇරඹේ
July 16, 2026 08:03 pm
රුහුණු මහා කතරගම දේවාලයේ 2026 පෙරහැර මංගල්‍යයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය "ප්ලාස්ටික්වලින් තොර පුදබිමක් - 2030" (Plastic Free Sacred Zone - 2030) වැඩසටහන ආරම්භ කර තිබේ.
වසර පහක කාලයක් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ 2030 වන විට කතරගම පූජා නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආශ්රිත ප්‍රදේශය ප්ලාස්ටික්වලින් තොර කලාපයක් බවට පත් කිරීම ඉලක්ක කරගෙන ඇත.
කතරගමට වසර පුරාම විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අතර, පෙරහැර සමයේ එම සංඛ්‍යාව ලක්ෂ ගණනක් දක්වා ඉහළ යයි. ඒ අනුව, පූජා භූමිය පුරා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බැතිමතුන්, ප්‍රදේශවාසීන් සහ වෙළෙඳුන් දැනුවත් කිරීම, තහනම් පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා වැටලීම් වැඩිදියුණු කිරීම, පූජා කටයුතු සඳහා පරිසර හිතකාමී විකල්ප හඳුන්වාදීම සහ කසළ කළමනාකරණය සඳහා නව ක්‍රමවේද හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගය ලබාගැනීමට ද පියවර ගෙන තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ, මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් පසුගිය වසර දෙක තුළ ක්‍රියාත්මක කළ අතර, එමඟින් ප්ලාස්ටික් මල්මාලා වෙනුවට ස්වාභාවික මල්මාලා හඳුන්වාදීම, පරිසර හිතකාමී මලු භාවිතය ප්‍රවර්ධනය කිරීම සහ කසළ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම ඇතුළු සාර්ථක ප්‍රතිඵල රැසක් ලබාගැනීමට හැකි වූ බවයි.
අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කතරගම පූජා භූමිය සහ මැණික් ගඟ ඇතුළු පරිසරයට සිදුවන හානිය අවම කරමින් පරිසර සංරක්ෂණය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව මධ්‍යම පරිසර අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
