කටුනායක වෙඩිතැබීමක්

කටුනායක වෙඩිතැබීමක්

July 15, 2026   05:03 pm

කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ. 

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් පොලිස් නිලධාරියාගේම රාජකාරි ගිනිඅවිය පැහැරගෙන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බව වාර්තා වේ.

ලද තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලුහුබැඳ ගොස් ඇත. 

එහිදී දැවමොට්ටාව ප්‍රදේශයේදී සැකකරු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.

සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාම සඳහා සූදානම් වන අතරතුර, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා ගොස් ඇත. 

එම අවස්ථාවේදී අනෙක් නිලධාරියා සමග සිටි සැකකරු, වහා ක්‍රියාත්මක වී එම නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.