මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ

මීගමුවේ රැඳවියන් නිලධාරීන්ට පහරදුන් තියුණු ආයුධ සොයාගැනේ

July 11, 2026   08:07 pm

මීගමුව බන්ධනාගාරයේ ගැටුමේදී එහි රැඳවියන් නිලධාරීන්ට පහරදීම සඳහා යොදාගත් බව කියන තියුණු ආයුධ තොගයක් විමර්ශන අතරතුරදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ඒ අතර පොලුමුගුරු 1000කට අධික ප්‍රමාණයක් තිබූ බ‍ව පොලිසිය සඳහන් කළේය. 

එමෙන්ම රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙයි තිබූ පොල් ගෙඩි ද රැගෙනවිත් ඒවායෙන් ද නිලධාරීන්ට පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණවී ඇත. 

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් එහි නිලධාරීන් 8 දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ අතර බන්ධනාගාරය තුළ සිදුකළ පරීක්ෂාවේදී පොලුමුගුරු දහසකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේය.

එමෙන්ම තියුණු ආයුධ රැසක් හා යකඩ පොලු තොගයක් ද එහිදී සොයාගෙන තිබේ.

ගැටුම අතුරතුරදී රැඳවියන් බන්ධනාගාර මුළුතැන්ගෙය කඩා තියුණු ආයුධ ලබාගෙන ඇති බව සඳහන්ය. 

එහි පොල්ගෙඩි ද රැගෙන ආ රැඳවියන් නිලධාරීන්ට ඒවායින් ද පහරදී ඇති බවද වාර්තා වෙයි. 

මේ අතර මීගමුව බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට රැඳවියන් මාරුකිරීමත් සමග ඒවායේද ඉඩ තවදුරටත් අවමවීම මත ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි සඳහන්ය.

එලෙස වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ට ඒවායේ සිටින සෙසු රැඳවියන් පහරදී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.