මාරක අනතුරු කිහිපයක් - පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 4ක් මරුට

මාරක අනතුරු කිහිපයක් - පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු 4ක් මරුට

July 8, 2026   06:46 am

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරු ඊයේ (07) තලාව, කරන්දෙණිය, පුලියන්කුලම සහ ආණමඩුව යන පොලිස් වසම්වලින් වාර්තා වූ බව පොලීසිය පවසයි.

අනුරාධපුර - තලාව ප්‍රධාන මාර්ගයේ සුනාමි හන්දිය ආසන්නයේදී කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, හිදෝගම ප්‍රදේශයේ පදිංචි කන්කසන්තුරය පොලීසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකි.

කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මඩකුඹුර කොටවෙල හරස් මාර්ගයේදී මඩකුඹුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දෙසටම  ඉදිරියෙන් ගමන්ගත් පාපැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පාපැදිකරු තුවාල ලබා බොරකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාපැදිකරු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 50 ක් වූ කරන්දෙණිය  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර A 09 මාර්ගයේ රාමනූර් ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී පදිකයා විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයකට යටවී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පදිකයා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 48ක් වූ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර ආඩිගම කීරියන්කල්ලිය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්නයේදී ආඩිගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා මුන්දලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු  මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 21ක් වූ ආඩිගම ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.