තැන තැන සිදුවන මාරක අනතුරු
June 29, 2026 10:24 am
දිවයිනේ ප්‍රදේශ කිහිපයක දී සිදු වූ අනතුරුවලින් තරුණයින් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇත.
මාතලේ - කුරුණෑගල මාර්ගයේ කුඩාඔය පාලම මතදී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.
මාතලේ දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රිදීගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණ ද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 29ක් වූ කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එමෙන්ම හෙට්ටිපොල වස්ගමුව මාර්ගයේ කිලෝමීටර් 42 කණුව ආසන්නයේදී වස්ගමුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මොණරෙකුගේ ගැටීමෙන් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක් වූ හඳුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හඳුන්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
පාදෙණිය - අනුරාධපුරය මාර්ගයේ කිලෝමීටර් 11 කණුව ආසන්නයේ සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අලුත් වැඩියා කරමින් තිබූ බස් රථයක් අසල සිටි මගීන් තිදෙනෙකුගේ හා එහි කොන්දොස්තරවරයාගේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ මගීන් තිදෙනා හා කොන්දොස්තරවරයා රෝහල් ගත කර ඇති අතර එහිදී ප්‍රථිකාර ලබමින් සිටිය දී කොන්දොස්තරවරයා මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 65ක් වූ උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මහව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
පේරාදෙනිය චෙන්කල්අඩි මාර්ගයේ කිලෝමීටර් 205 කණුව ආසන්නයේදි බිබිල දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු පදියතලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පදියතලාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
