රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්
June 25, 2026 06:57 pm
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ඒ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
ඒ අපරාධකරුවකු වන හරක් කටාට විරුද්ධව සිදුකෙරන විමර්ශන ලිහිල් කර දෙන බව පවසා ඔහුගේ බිරිඳගෙන් සහ මිදිගම රුවන් නම් අපරාධකරුගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් 'හරක්කටා' මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා සිටියේය.
ඒ අතරතුරදී 2023 වසරේ මාර්තු මාසයේදී එවක අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, වත්මන් හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ අරුණ වරුණහැන්දිගේ ඩුබායි රාජ්‍යවෙත ගොස් ඇති බව අල්ලස් කොමිසම පැවසීය.
එකම ගුවන් යානයක ඔවුන් ඩුබායි රාජ්‍යවෙත ගොස් එහිදී හරක් කටාගේ බිරිඳවන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මිදිගම රුවන් නැමැත්තා හමුවී ඇති බවද කොමිසම සඳහන් කළේය.
එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත්කිරීම, බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමුකිරීම හා විමර්ශන කටයුතුවලින් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරදෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනවලදී අනාවරණවී තිබේ.
අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේය.
ආදළ මුදල උණ්ඩියල් ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගෙන ඇති බවත් වාර්තාවී තිබේ.
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණහැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.
ඒ අනුව සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අල්ලස් කොමිසම මගින් සැකකරුවන්ගේ නිවෙස් වලදී අත්අඩංගුවට ගැනුණි.
පැය අටකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි.
