වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ගැන ගැමුණු කියන කතාව

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ගැන ගැමුණු කියන කතාව

June 21, 2026   02:22 pm

සෑම වසරකම සිදුවන වාර්ෂික බස්ගාස්තු සංශෝධනය මෙවර ජූලි 03වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලි මස 03 වන දින ක්‍රියාත්මක කිරීමට මේ වන විට අවධානය යොමුව ඇති බවය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අනෙකුත් බස් සංගම් සමග සාකච්ඡා කරන බවත් පැවසූ ගැමුණු විජේරත්න මහතා පැවසුවේ මේ මොහොතේ යම් ආකාරයකින් ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවහොත් මාස 6ක් පුරාවට කිසිදු අයුරකින් ගාස්තු අඩු කිරීමකින් තොරව බස් ගාස්තුව පවත්වා ගෙන යන බවය.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ බස් කර්මාන්තයට බරපතළ අර්බුදයක් පැන නැගී ඇති බවත් ජූනි මාසයේ ආරම්භයේ සිට මේ දක්වා රුපියල් කෝටි 60ක පාඩුවක් බස් කර්මාන්තයට සිදුව ඇති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, 

"ඩීසල් අඩුවුණත් අපි මාස 6ක් පුරා අපි බස් ගාස්තු අඩු කරන්න කටයුතු කරන්නේ නෑ. මොකද කර්මාන්තයට බරපතළ අර්බුදයක් තිබෙනවා. මේ මාසයේ ජූනි 1 වැනිදා සිට ජුනි අග වෙනකන් මේ මාසේ ඇතුළත රුපියල් 25ක පාඩුවෙන් රුපියල් කෝටි 60ක පාඩුවක් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ සංශෝධනය හදාගන්න වෙනවා ඩීසල් මිල අඩු කළාට මාස 6ක් වෙනකන් අපි අඩු කරන්නේ නෑ. පුළුවන් නම් අපිට නඩු දාන්න අපි කියනවා ප්‍රතිපත්තියක් විදිහට කිසි තැනක සඳහන් කරලා නෑ ඩීසල් අඩු කළාට බස් ගාස්තු අඩු කරන්න ඕනේ කියලා."