විෂ මත්ද්‍රව්‍ය භාවිත කර බස්රථ ධාවනය කළ රියදුරන් සිව්දෙනෙකු හොරණදී අත්අඩංගුවට
June 12, 2026 04:12 pm
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් රථ ධාවනය කරනු ලබන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් පොලීසිය විසින් ඊයේ (11) හොරණ ප්‍රධාන බස් නැවතුම්පළ පරීශ්‍රයේදී සිදුකර තිබේ.
හොරණ, ඉංගිරිය, මොරගහහේන සහ අගුරුවාතොට යන පොලිස් ස්ථානවල රථවාහන නිලධාරීන් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් හා ඒකාබද්ධව හොරණ නගරයෙන් ගමන් ආරම්භ කරන ගමනාන්ත සහිත හා නගරය හරහා ගමන්කරන මගී ප්‍රවාහන බස්රථවල රියදුරන් හා කොන්දොස්තරවරුන් මෙහිදී පරීක්ෂාවට ලක් කෙරිණි.
එහිදී බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 151 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදී සිටි රියදුරන් 04 දෙනෙකු හා කොන්දොස්තරවරුන් දෙදෙනෙකු මෙහිදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම එම රියදුරන් විසින් ධාවනය කරන ලද බස් රථ 04ක්ද මෙහිදී පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 34-61ත් අතර වයස්වල පසුවන කුඩාඔඩුව, බැල්ලපිටිය, කලුගහහින්න, ගෝවින්න සහ එගොඩහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරති.
