ගෝල්ෆේස් මුහුදු තීරයේ නාන්න ගිය සිසුන් තිදෙනෙකු ගසාගෙන යයි
June 10, 2026 04:20 pm
කොළඹ ගෝල්ෆේස් මුහුදු තීරයේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු අද (10) පස්වරුවේ රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.
රළ පහරට හසු වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු බේරාගැනීමට සමත්ව ඇති අතර, අනෙක් සිසුවා මේ වන විට අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
කෙසේ නමුත් බේරාගත් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව ද සඳහන් වේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ සිට පැමිණි වයස අවුරුදු 15ක පමණ පසුවන පාසල් සිසුන් පිරිසක්ය.
ඔවුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙස පැමිණ මෙලෙස මුහුදට බැස ඇති අතර, ඉන් තිදෙනෙකු මෙලෙස අනතුරට මුහුණ පා ඇත.
අතුරුදහන් වූ සිසුවා සෙවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් මේ වන විට විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
