ලලිත් සහ කුගන් අතුරුදන් වීමේ සිද්ධියට  ගෝඨාභයට Online සාක්ෂි දීමට අවසර

ලලිත් සහ කුගන් අතුරුදන් වීමේ සිද්ධියට ගෝඨාභයට Online සාක්ෂි දීමට අවසර

June 2, 2026   01:16 pm

යාපනයේදී ලලිත් සහ කුගන් යන දෙදෙනා අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවතින නඩු විභාගයේදී, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබාදීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

2011 වසරේ දෙසැම්බර් මස 10 වෙනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් යාපනයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට මුල් වූ ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන අය ඊට පෙර දින ආවරංගල් ප්‍රදේශයේදී අතුරුදන්‍ විය.

ඒ අනුව, අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් 2012 වසරේදී කොළඹ අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් (Habeas Corpus) නඩුවක් ගොනු කරන ලදී.

එම පෙත්සම විභාග කිරීමේදී, මෙම පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අභියාචනාධිකරණය විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කර තිබේ.

ඒ අනුව, 2012 වසරේ සැප්තැම්බර් මස 19 වෙනිදා සිට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු විභාග ආරම්භ විය.

නඩු විභාග අතරතුර, 2017 වසරේදී සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් විය.

ඉන් අනතුරුව පැවැති නඩු විභාගවලදී, අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අධිකරණය විසින් නියෝග කර තිබුණි.

කෙසේ වෙතත්, ආරක්ෂක හේතූන් මත තමන්ට යාපනයට පැමිණිය නොහැකි බව ඔහු දිගින් දිගටම පවසා තිබුණි.

මෙම තත්ත්වය තුළ, අන්තර්ජාලය ඔස්සේ පෙනී සිට සාක්ෂි ලබාදීමට අවසර ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට අදාළ ආරක්ෂක තර්ජන තහවුරු කරන දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඔහුට නියෝග කර තිබුණි.

ඒ අනුව, අද එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී, ගෝඨාභය රාජපක්ෂ මහතාට අන්තර්ජාලය ඔස්සේ අධිකරණය හමුවේ පෙනී සිට සිය සාක්ෂි සටහන් කර ගැනීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.