header logo
SLIC
වෙනත් පුවත්
මතු පරපුර වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා හරිත මෙහෙයුමක්
May 23, 202602:04 PM
මතු පරපුර වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් දිවයින පුරා හරිත මෙහෙයුමක්
EDEX

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මේ මස 22 වන දින සිට ජුනි මස 04වෙනිදා දක්වා ‘හුස්මෙන් හුස්මක් - විරු තුරු සෙවණ’රුක් රෝපණ ව්‍යාපෘතියක් සැලැසුම් කර තිබේ.

ඒ, මෙරට නිදහස වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් හා ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැයට අහිමි වූ ශ්‍රී ලාංකික පුරවැසි ජීවිත වෙත සිදුකරනු ලබන ජීවමාන උපහාරයක් වශයෙනි.

මෙමඟින් සිදු වූ දැවැන්ත පාරිසරික හානිය යළි ප්‍රථිස්ථාපනය කිරීම හා ඒ තුළින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ජාතික මෙහෙවරහි අරමුණු අර්ථවත් අයුරින් සඵල කරගැනීම සඳහා ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

මෙම රුක් රෝපණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරක්‍ෂක සේනා මූලස්ථාන යටතේ බොහෝ දිස්ත්‍රික්ක ප්‍රමාණයක් ආවරණය කර ගනිමින් පැවැත්වෙනු ඇත.

මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භක උත්සවය ඊයේ (22) දින කුරුණෑගල ගනේවත්ත ඔසු උයනේදී පැවැත්විණි.

එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ සහභාගී වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

එම අවස්ථාවේදී පැළ 300ක් රෝපණය කිරීම සිදු කළ අතර එය දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනට සංකේතාත්මක ප්‍රවේශයක් විය.

රටේ සුරක්ෂිතභාවය පමණක් නොව පරිසරය සුරැකීම ද තම වගකීමක් ලෙස සලකා කටයුතු කරන බව එම හමුදාව පැවසීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, මතු පරපුර වෙත ස්වාභාවික ව්‍යසනයන්ගෙන් හීන, කලට වැසි වැටෙන, හරිත වර්ණයෙන් සපිරි, භවභෝගවලින් සුපෝසත්, සතුට සෞභාග්‍යයෙන් සපිරි නිරෝගීමත්ව ජීවත් වීමේ පරිසරයක් බිහිකර දීම උදෙසා මෙම හරිත මෙහෙයුමට උරදී සිටී.

මෙම වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම සඳහා දිවයින පුරා විහිදී සිටින රාජ්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් සහ සිවිල් ජනතාවගේ පූර්ණ සහයෝගය අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight