දුම්රිය මඟේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රු.3,000ට බව හෙළිවෙයි
May 17, 2026 11:26 am
වනවාසල දුම්රිය අනතුර සිදු වූ ස්ථානයේ ගැලවූ කොටස් විකුණා ඇත්තේ රුපියල් 3,000ක මුදලකට වන බවත් එම කොටස් මිලදී ගත් ස්ථානය හඳුනාගෙන එහි අයිතිකරු ද අත්අඩංගුවට ගත් බවත් බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා පවසයි.
මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු අනුව භාණ්ඩ මිල දී ගත් පුද්ගලයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
දුම්රිය මාර්ගයේ කොටස් ගැලවූ පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අයෙකු වන අතර ඔහු වයස අවුරුදු 25ක් වන තරුණයෙකු වන බව ද කාලිංග ජයසිංහ මහතා සඳහන් කළේය.
වනවාසල ප්‍රදේශයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එමෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙහි විමර්ශන කටයුතු දිගින් දිගටම සිදු කරන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.
පොදු දේපලවලට හානි සිදු කිරීමට අමතරව මෙම අනතුරින් සිදු වූ හානිය හා අලාභය සම්බන්ධයෙන් ද අදාළ පුද්ගලයින්ට නඩු පවරන බව නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා මෙහිදී පැවසීය.
මෙම කොටස් ගලවා විකිණීමෙන් ලැබෙන්නේ සුළු ලාභයක් වුවද මෙවැනි සිදුවීම් හරහා මිලියන ගණනක හානියක් සිදුවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සොරකම් කරන ලද පොදු දේපල දැනුවත් භාවයෙන් යුතුව මිලදී ගැනීම සම්බන්ධයෙන් ද භාණ්ඩ මිලදී ගත් පුද්ගලයාට ද නඩු පවරන බවය.
මාධ්‍ය හමුවට එක් වූ බස්නාහිර පළාත උතුර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහතා
''සොරකම් කිරීම හා සොරකම් කරන ලද භාණ්ඩ සන්තකයේ තබා ගැනීම යන කරුණු ද්විත්වය සම්බන්ධයෙන්ම නඩු පැවරිය යුතුයි.. මෙවැනි මිලදී ගැනීම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරනවා.. සමහර වෙලාවට සොරකම් කරන ලද භාණ්ඩ මිලදී ගැනීමක් කරලා ඒ අයට අධිකරණයෙන් නඩු පැවරුවට පස්සේ එක්කෝ වැරදිකාරයෙක් වෙනවා නැත්තම් ඇප ලබා දීලා පැමිණීමේ හැකියාව තියෙනවා ඒක නීතිය.. නමුත් අපි අත්අඩංගුවට ගැනීම හා නඩු පැවරීමේ කටයුතු කරනවා.. මේ සිදුවීමේ දී නම් සිදු වූ දේපළ හා ජීවිත හානි පිළිබඳවත් නඩු පවරන්න ක්‍රියා කරනවා..''
