මාරක අනතුරු කිහිපයක් - ජීවිත 4ක් අහිමිවෙයි
May 14, 2026 06:15 am
දිවයින පුරා ස්ථාන කිහිපයකදී සිදුවු මාරක අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (13) අහංගම, තිරුක්කෝවිල්, වැලිවේරිය සහ පිටිගල යන ස්ථානවල මෙම අනතුරු සිදුව තිබුණි.
ඊයේ අලුයම අහංගම පොලිස් වසමේ අහංගම ඉමදූව මාර්ගයේ කටුගහවත්ත හන්දිය ආසන්නයේදී ඉමදූව දෙස සිට අහංගම දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබුණි.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගොන්නගහහේන රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 25ක් වූ පියදිගම, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, ඊයේ උදෑසන තිරුක්කෝවිල් පොලිස් වසමේ තිරුක්කෝවිල් පොතුවිල් මාර්ගයේ කොරකලපුව වැව ආසන්නයේදී තිරුක්කෝවිල් දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තු රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.
එලෙස මියගොස් ඇත්තේ, 42ක් වූ තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, ඊයේ සවස වැල්වේරිය පොලිස් වසමේ රතුපස්වල හේනේගම මාර්ගයේ කඳුවත්ත ප්‍රදේශයේදී හේනේගම දෙස සිට රතුපස්වල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරලීගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පසුපැදිකරු ලොරි රථයට යටවීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇත. යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
මරණකරු අවුරුදු 24 ක් වූ බටහිර වැලිවේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, ඊයේ උදෑසන පිටිගල පොලිස් වසමේ පිටිගල පැලවත්ත මාර්ගයේ බොරළුහේන ප්‍රදේශයේදී පැලවත්ත දෙස සිට පිටිගල දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ඇල්පිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මරණකරු අවුරුදු 21ක් වූ පත්තරහේන, පිටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පිටිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
