කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර

කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කරන්න නිෂ්පාදිත සමාගමට යොමු කිරීමට අවසර

May 12, 2026   05:39 pm

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ පවත්වා තිබේ. 

එහිදී විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කර ඇත. 

ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට අදාළ ඇමුණුම් දෙකක්ද පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල් දෙකක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ මුරපදය වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා එය විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් එම නිසා අදාළ ජංගම දුරකථනය එය නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ. 

එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙල බැඳි පටිය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේදැයි ප්‍රශ්න කර ඇත. 

එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එය රජයේ රස පරීක්ෂකවරයා වෙතද යොමු කරන බවත් පොලීසිය සඳහන් කර තිබේ.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අමතමින් "සිද්ධිය වූ ස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක හේතු හඳුනා නොගත් බෙහෙත් වගේකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළාද?" යනුවෙන් විමසා ඇත. 

ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ඨාශයට නිලධාරීන් පවසා ඇත්තේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවය. 

ඉන් අනතුරුව මෙම ඖෂධ මෝසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලීසිය පවසා ඇත.

ඒ අනුව පොලීසිය විසින් කළ ඉල්ලීම්වලට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ මෙහෙයවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ඇත. 

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වනදා දක්වා කල් තබා තිබේ.