කපිලට ඇප දුන්න අය ගැන සාගරට සැකයක්

කපිලට ඇප දුන්න අය ගැන සාගරට සැකයක්

May 8, 2026   02:13 pm

ශ්‍රීලන්කන් හිටපු විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැක සහිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමට පැමිණි පුද්ගලයින් සම්බන්ධයෙන් ද සැකයක් පවතින බව සාගර කාරියවසම් මහතා කීය.

ඇපකරුවන්ව ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියට හඳුන්වා දෙනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් ද යන්න අධිකරණය විමර්ශනයක් කළ යුතු බවට මහලේකම්වරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. 

"කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාව ඇප මත මුදාහැර තිබෙනවා. නමුත් ඇප මත මුදාහැරියාට පස්සේ, ඊයේ (07) දිනයේ අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරලා තියෙනවා, ඔහුව අත්අඩංගුවට ගන්න. නඩුව අවසන්වන තෙක් ඔහුව රිමාන්ඩ් භාරයේ තබාගන්න ඉල්ලීමක් කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු පහක් හයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමක් වෙන්න පුළුවන්. මොකද මේ නඩු කවදා ඉවර වෙනවාද කියලා අපි දෙන්නේ නැහැ. 

මේක ඇපකරුවන් සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියනවා. අපි හොයලා බැලුවා, කපිල චන්ද්‍රසේන කියන පුද්ගලයාට ඇප ලැබෙන්නේ රිමාන්ඩ් භාරයේ ඉද්දී. මේ ඇපකරුවන් දෙදෙනා කවුද හොයා දුන්නේ කවුද කියන කාරණය. මොවුන් බොරු ඇපකරුවන් කියලා කියනවා. රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉද්දී ඇපකරුවන් හොයන්න බැහැ. එතකොට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය පුද්ගලයාට මේ ඇපකරුවන් දෙදෙනා සොයා දුන්නේ, කවුද කියන කාරණය සම්බන්ධයෙන්  වහාම විමර්ශනයක් කරන්න. 

අපිට තියෙන ආරංචිය අනුව නම් ඇපකරුවන් දෙදෙනාවත් ලබාදීමත් මේ කාරණාවේම යම් කිසි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඇපකරුවන් දෙදෙනා කපිල චන්ද්‍රසේනට ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයේ සී.සී.ටී.වී කැමරා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පුළුවන්. අධිකරණ පරිශ්‍රයේදී මෙම ඇපකරුවන් ලබා දුන්නේ කවුද? ඒකට මැදිහත් වුණේ බන්ධනාගාර නිලධාරින් ද.? නොඑසේ නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් ඒ පිටුපස හිටියා ද.? ඒ දෙන්නා මේ ආකාරයේ දෙන්නෙක් කියලා කොමිසම දැනගත්ත ආකාරය ගැන සමාජයේ ලොකු සැකයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා අපි ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා වහාම විමර්ශනයක් කරලා මේ ඇපකරුවන් දෙදෙනාව ලබා දුන්න ක්‍රමවේදය මොකක්ද කියලා."