රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට 

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට 

May 2, 2026   09:33 pm

රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා හෙට (03) දින දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඔවුන් මෙම සංචාරයේදී මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතාවයන් සහ සහයෝගීතාවයන් ශක්තිමත් කිරීමට අදාළ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම දූත පිරිස විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත බව සඳහන්ය.

මොවුන්  මැයි 04 වන දින කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයක නිරතවීමට ද නියමිත අතර ශ්‍රී ලංකාවේ සහ රුසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ අතර අවබෝධතා එකඟතාවයන්ට එළඹීමට ද අදහස් කර ඇත.

එමෙන්ම මෙම සංචාරයේදී ඖෂධ සහ වෛද්‍ය උපකරණ, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව සහ උසස් පුහුණුව, අධ්‍යයන සහයෝගීතාව (හුවමාරු, ඒකාබද්ධ පාඨමාලා ආදිය), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, සංචාරක සෞඛ්‍ය සේවාව ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍රයන්ගේ සහයෝගීතාව වර්ධනය කිරිම උදෙසා සෞඛ්‍ය සේවාවේ එක් එක් අංශ සමග සාකච්ඡා සහ අදහස් හුවමාරු කර ගැනීමට ද රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස බලාපොරොත්තුවෙන් සිටී.

රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ ඇතුළු නියෝජිත පිරිස සිය තෙදින සංචාරය නිමා කරමින් ලබන පස්වෙනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.