මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි - ජනපති නුවරඑළයේදී කියයි

මීට පෙර පාලකයින් ගනු ලැබුවේ වරප්‍රසාද වැඩි කරන තීන්දුයි - ජනපති නුවරඑළයේදී කියයි

May 1, 2026   12:26 pm

මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනා ගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමිනි.

වත්මන් ආණ්ඩු විසින් ජනතා වෙනුවෙන් තීන්දු සහ පාලකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරනු ලබන තීන්දු ගෙන ඇති බව අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

මීට පෙර පැවැති ආණ්ඩු ගනු ලැබුවේ, පාලකයින්ගේ වරප්‍රසාද වැඩි කරන තීන්දු සහ ජනතාවට පීඩාව ගෙනත් දෙන තීන්දුය. 

"අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළමු වතාවට තමයි මැයි දින රැලියක් පවත්වන්නේ. අපි පළමු අවස්ථාවට මැයි රැලිය පවත්වනකොට, මීට පෙර පවත්වපු කිසිවෙක් අද මැයි දින පවත්වන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකක්ද?  මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ මලයගම් ජනතාව ඇතුළු සියලු ජනතාව අද විශ්වාසය තබලා තිබෙන්නේ, ජාතික ජනබලවේගයේ ආණ්ඩුව කියන පණිවුඩය තමයි දීලා තිබෙන්නේ. මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව රකින්නේ, මේ ආණ්ඩුව ජයග්‍රහණය ගෙනත් දෙන්නේ, මේ රටේ ජනතාවට. මතක තබාගන්න ලංකාවේ හැදිලා තිබෙන ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනාගත් ආණ්ඩුව මේක. 

මේ මලෛයගම් ජනතාව මේ ආණ්ඩුව විශ්වාස කරනවා. අපි උතුරට ගියොත්, ඒ ජනතාව විශ්වාස කරන්නෙත් මේ ආණ්ඩුව. අපේ නැගෙනහිරට ගියොත් ඒ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව. දකුණේ සියලු දෙනා විශ්වාස කරන්නේ, මේ ආණ්ඩුව. ඒ කියන්නේ මොකක්ද.? ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්, වැඩ කරන ජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගිලා තිබෙනවා. 

මේ ආණ්ඩුව පත්වෙලා අවුරුදු දෙක ඇතුළත බොහෝ තීන්දු තීරණ ගත්තා. බොහෝ වැඩකටයුතුවලට මුල් පියවර තිබ්බා. ඒ හැම එකේම අරමුණ, ප්‍රතිඵලය මොකක්ද.? මේ රටේ වැඩ කරන ජනතාවට හොඳ ආදායම් මාර්ගයක්, අධ්‍යාපනයක්, ඉන්න නිවසක්, නීතිය තිබෙන රටක්, ජාතික සමගිය තියෙන රටක් ගොඩනැංවීමයි. 

අපි තීන්දු වර්ග දෙකක් ගත්තා. එකක් ජනතාව වෙනුවෙන් තීන්දු, අනික පාලක පන්තියේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. වෙනදා ආණ්ඩු ගන්න තීන්දු මොනවාද.? පාලකයන්‌ගේ වරදාන වරප්‍රසාද වැඩිකරගන්න තීන්දු. ජනතාවට පීඩාව, වේදනාව ගෙනත් දෙන තීන්දු. අද ඒකේ අනිත් පැත්ත. තීන්දු ගන්නා වරප්‍රසාද කප්පාදු කරන තීන්දු. තීන්දු ගන්නා වැඩකරන ජනතාවගේ ජීවන මට්ටම උසස් කරන තීන්දු අරන් තියෙනවා. එහෙම නම් මේක තමයි වැඩ කරන ජනතාවගේ ආණ්ඩුව.."

2026 වසරේදී වංචා දූෂණයට අදාළව අතිවිශාල පිරිසක් බන්ධනාගාර ගත වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැලිය අමතමින් අවධාරණය කළේය.

මැයි මාසයේදී දස දෙනෙකුගේ නඩු අධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබෙන බවත්, ඉන් එකක තීන්දුවක් මෙම මස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවට ඊයේ (අප්‍රේල් 30) නියම කළ බවත් ඔහු පෙන්වා දුන්නේය. 

"අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරලා තියෙනවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. අල්ලස් කොමිසම ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස් කොමිසමේ ඉඩ මදි කියලා කිව්වා. අපි හිටපු ඇමති කෙනෙකුගේ ගෙයක් අරන් දුන්නා. අල්ලස් කොමිසටම. දැන් පරීක්ෂණ ටික යනවා. අපි ආයතන ශක්තිමත් කරලා දුන්නා. නීති හදලා දුන්නා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලයි. හිටපු ඇමතිවරුන්ගේ ගෙවල් අධිකරණ බවට පත් කළා නඩු අහන්න. එදා කාලා බීලා හිටපු ගෙවල්වලට දැන් එනවා සාක්ෂි දෙන්න. අධිකරණ හදලා, ශක්තිමත් කරලා තියෙනවා. ජනතාව කලබල නැහැ. ඒ ගොල්ලෝ කලබලය. මම සහතිකයක් දෙන්නම්. මේ 2026 වසර ලංකා ඉතිහාසයේ දූෂිතයන්ට වංචනිකයන්ට, හොරුන්ට හිර ගෙවල් නියම කළ වසර බවට පත් වෙනවා. මේ මැයි මාසේම 10 දෙනෙකුගේ නඩු තියෙනවා අධිකරණයේ. ඊයේ නඩු තීන්දුවක් ලබා දෙන්න දින නියම කළා. ඒ තීන්දුව මැයි මාසයේ එනවා. මොකක්ද සිදුවෙමින් තිබෙන්නේ.? වේගයෙන් අපරාධකරුවන්, වංචනිකයන්, දූෂිතයන්, කුඩු ව්‍යාපාරිකයන්, පාතලයින්, හිරේට යමින් තිබෙනවා. නඩු අහමින් තිබෙනවා. ඒ ගොල්ලන් කලබල වෙනවා. කලබල වුණේ නැත්නම් තමයි පුදුමේ. නීතිය දොරකඩට ඇවිත් තියෙනවා. මේ සෑම අපරාධකාරයෙක්ම නීතිය හමුවට ගෙන යාම සඳහා ඔබ අපිට ජන වරමක් ලබා දුන්නා. අපි ඒ් ජනවරම අනුව කටයුතු කරනවා. පරම්පරාවෙන් ජනාධිපතිවරුන් ද පරම්පරාවෙන් අගමැතිවරුන් ද අපි මනින්නේ නැහැ. හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද  හිටපු ජනාධිපතිගේ බිරිඳ ද ජනාධිපතිගේ පුතා ද හිටපු ජනාධිපතිගේ බෑනා ද හිටපු ජනාධිපතිගේ මස්සිනා ද කියලා භේදයක් නැහැ. නීතිය සමානව ළඟට එනවා."