ලෝක සාමය අරමුණු කරගත් ඒහිපස්සිකෝ සාම පාගමන අවසන් වෙයි
April 28, 2026 07:31 pm
ලෝක සාමය අරමුණු කරගත් '' ඒහිපස්සිකෝ '' සාම පාගමන අද (28) පස්වරුවේ අවසන් විය.
ඒ කොළඹ නිදහස් චතුරස්‍රය පරිශ්‍රයේදි ජනාධිපතිවරයා අතින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි වෙත පූජා කිරීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුවය.
ලෝක සාමය පිළිබඳ ලෝකවාසීන්ගේ අවධානය යොමු කිරීමේ අරමුණින් සිදු කෙරෙන '' ඒහිපස්සිකෝ '' සාම පාගමන මෙරට ගමන් ඇරඹුවේ අප්‍රේල් 22 වැනිදා දඹුල්ල රජමහා විහාරයෙනි.
වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දහතුන් නම හා ලෝකයේම අවධානය දිනාගත් අලෝකා සුනඛයා ගතවූ දින 6 පුරා මාතලේ, මහනුවර, බෙලිගම්මන, තෝලංගමුව, යක්කල පසුකරමින් කැලණිය රාජමහා විහාරය දක්වා පැමිණියේය.
අද උදෑසන වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමිගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජමහා විහාරයේදි පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් සමඟ ධර්ම සාකච්ඡාවක් පැවැත් වුණි.
සාම පාගමනේ 7 වන දිනය මෙන්ම අවසන් දිනය ආරම්භ කරමින් අද දහවල් කැලණිය රාජමහා විහාරයෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ දහතුන් නම ගමන් ඇරඹීය.
අදත් සාම පාගමන දැක බලාගැනීම සඳහා බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් මාර්ග දෙපසට පැමිණ සිටියේය.
අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය හා ධාතූන් වහන්සේ නිදහස් චතුරස්‍රයේ ඉදිකළ විශේෂ පීඨිකාවක් වෙත රැගෙන එනු ලැබීය.
මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සාම පාගමනේ වැඩි වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමිට ධාතූන් වහන්සේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය පූජා කරනු ලැබීය.
