සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
April 21, 2026 09:24 am
අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
"සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන 'සාමයේ පා ගමන' සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි." ලෙස එහි සඳහන් ව ඇත.
"මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි." ලෙසද එහි වැඩිදුරටත් සඳහන්.
මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කිරීමටත් උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් ජනාධිපති අනුර දිසානායක මහතා සිය පණිවිඩය අවසන් කර ඇත.
සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.
සාම පාගමන වෙනුවෙන් 'ආලෝකා' නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණි.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ''Walk For Peace" සාම පාගමන වැඩසටහන අද සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පාගමනේ වැඩමවීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි.
