ඉරානය යුද්ධයට ඊශ්‍රායලය තමාව පොළඹවා ගත්තේ නෑ - ට්‍රම්ප්

ඉරානය යුද්ධයට ඊශ්‍රායලය තමාව පොළඹවා ගත්තේ නෑ - ට්‍රම්ප්

April 20, 2026   09:44 pm

ඉරානයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගැනීමට ඊශ්‍රායලය තමා පොළඹවා ගත් බවට එල්ල වන චෝදනා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.

සිය Truth Social ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් අමෙරිකානු ඒ බව සඳහන් කර ඇත.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ තීරණවලට බලපෑම් කර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සහ දක්ෂිණාංශික දේශපාලන විචාරකයින්ගේ විවේචන හමුවේ ට්‍රම්ප් මහතා මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.

"මම මෙම ව්‍යාජ පුවත් සහ මත විමසුම් දෙස බලන්නේ දැඩි පිළිකුලකින්. ඔවුන් පවසන දේවලින් 90%ක්ම බොරු සහ ගොතන ලද කතා. 2020 ජනාධිපතිවරණය මෙන්ම මෙම මත විමසුම් ද දූෂිතයි," යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

මේ අතර ඉරානයට කිසිදු දිනක න්‍යෂ්ටික අවියක් හිමි කර ගැනීමට ඉඩ නොදිය යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ.

වෙනිසියුලාවේ දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය කතා කිරීමට අකමැති වුවද, ඉරානය තුළද එවැනිම විස්මිත ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බව ඔහු පවසයි. 

ඉරානය තුළ පාලන තන්ත්‍රයේ වෙනසක් වුවද එරට නව නායකයින් බුද්ධිමත් ලෙස ක්‍රියා කරන්නේ නම්, ඉරානයට ඉතා සෞභාග්‍යමත් සහ යහපත් අනාගතයක් උදාවනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.