
ගල්ෆ් කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුමට එල්ලවී ඇති දැඩි බලපෑම හමුවේ, පාකිස්තානය පුරා වෙළෙඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 8ට වසා දැමීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් තීරණය කර තිබේ.
පාකිස්තානයේ පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමට නියෝග කර මාසයකට පමණ පසු, පැවැත්වූ තීරණාත්මක රැස්වීමකින් අනතුරුව මෙම නව සීමාවන් පනවා ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, ප්‍රාදේශීය රජය සමග පවත්වන ලද සාකච්ඡාවලින් පසුව Khyber Pakhtunkhwa ප්‍රාන්තයේ ප්‍රධාන නගරවල වෙළඳපොළ සහ සාප්පු සංකීර්ණ රාත්‍රී 9 දක්වා විවෘතව තැබීමට අවසරදී තිබේ.
තවදුරටත් ගත් තීරණ අතරට බේකරි, අවන්හල් සහ අනෙකුත් ආහාරපාන අලෙවිසැල් රාත්‍රී 10 වන විට වසා දැමීමට නියමිතය.
මංගල උත්සව ශාලා, තාවකාලික මණ්ඩප සහ අනෙකුත් වාණිජ උත්සව ස්ථාන ද රාත්‍රී 10 න් පසු වසා තැබිය යුතුය.
මීට අමතරව, පෞද්ගලික දේපළ සහ නිවෙස් තුළ පවත්වනු ලබන මංගල උත්සව ද රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර ඇත. කෙසේ වෙතත්, ඖෂධ සැල් සඳහා මෙම සීමාවන් බලනොපාන අතර ඒවා දිගටම පවත්වාගෙන යාමට අවසර හිමි වෙයි.







































