උත්සව සමයේ සිදුවන සමාජ මාධ්‍ය වංචා පිළිබඳ අනතුරු ඇඟවීමක්
April 7, 2026 11:51 am
සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය සමග සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදුවන මාර්ගගත වංචා සහ මුදල් වංචා ඉහළ යා හැකි බැවින්, ඒ පිළිබදව අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම උත්සව සමය තුළදී සයිබර් අපරාධකරුවන් මහජන විශ්වාසය පළදු කරමින් විවිධ වංචනික ක්රමෝපායයන් ක්‍රියාත්මක කරන බව නිරීක්ෂණය වී ඇති බව එම සංසදය පවසයි.
විශේෂයෙන්ම, රාජ්‍ය සේවා සපයන ආයතන දෙපාර්තමේන්තු, ප්‍රසිද්ධ වෙළෙඳසැල් සහ ව්‍යාපාරික ආයතන ලෙස ව්‍යාජව පෙනී සිටිමින් මහජනතාව නොමඟ යැවීමේ සිද්ධීන් පිළිබඳව සැලකිය යුතු තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් වේ.
මෙම වංචනිකයන් ව්‍යාජ දීමනා, විශේෂ වට්ටම්, මුදල් ත්‍යාග සහ තෑගි ලබාදෙන බවට පොරොන්දු වෙමින් ආකර්ෂණීය පණිවිඩ කෙටි පණිවිඩ සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රචාරය කරන බව දැනුම් දී තිබේ.
ඒ සමඟම, ඔවුන් වංචනික සබැඳි (links) බෙදා හරිමින්, එම සබැඳි හරහා මුදල් ගෙවීමට හෝ පුද්ගලික තොරතුරු ලබා දීමට මහජනතාව පොළඹ වන ආකාරය නිරීක්ෂණය වී ඇති බව ඔමුන් පවසයි.
මෙවැනි වංචනික ක්‍රියාමාර්ග හේතුවෙන් බොහෝ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වලින් සෘජුවම මුදල් අහිමි වූ අවස්ථා වාර්තා වී ඇති අතර එමෙන්ම සමාජ මාධ්‍ය වේදිකා භාවිතා කර සිදුකරන අවුරුදු කුමාරි තරග වැනි ක්‍රම යොදාගනිමින් ඡායාරූප ලබා ගෙන ඒවා අවභාවිතා කිරීමේ උත්සහායන් ද ක්‍රියාත්මක බව වැඩිදුරටත් ඔවුන් දැනුම් දී තිබේ
ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් පහත කාරණා පිළිබද අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටී.
• සැක සහිත සබැඳි මත ක්ලික් නොකිරීම.
• පුද්ගලික තොරතුරු (ජාතික හැඳුනුම්පත් අංක, බැංකු විස්තර ආදිය) ඡායාරූප බෙදා නොගැනීම.
• එක් වරක් භාවිතා කළ හැකි මුරපද (OTP) කිසි විටෙකත් අනාවරණය නොකිරීම.
රාජ්‍ය ආයතන හෝ විශ්වාසනීය පුද්ගලික ආයතන කිසිවිටෙකත් සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ (SMS) හෝ නොදන්නා සබැඳි හරහා මහජනතාවගෙන් සංවේදී තොරතුරු ඉල්ලා නොසිටින බව සැලකිය යුතු වේ.
මෙම උත්සව කාලසීමාව තුළ ඔබට ලැබෙන ඕනෑම සමාජ මාධ්‍ය පණිවිඩ, කෙටි පණිවිඩ, මුදල් ඉල්ලීමක හෝ දීමනා පිළිබඳ තොරතුරක සත්‍යතාව විශ්වාසනීය මාර්ග හරහා තහවුරු කරගන්නා ලෙස ශ්‍රී ලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
