ගාල්ලේ නිවසක ද්විත්ව ඝාතනයක්
April 3, 2026 02:29 pm
ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.
පොලීසිය පැවසුවේ අද උදෑසන 6ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවය.
පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා වේ.
පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබනුයේ මිත්තණියගේ දියණිය වන අතර ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන්ව ඇතැයිද ඇය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.
පහරදීමට සම්බන්ධ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා බවත් එම දියණිය මේ වන විට ඉතාලියේ රැකියාක් නිරත වන බවත් පොලීසිය සඳහන් කළේය.
සැකකරු 35 හැවිරිදි උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර ඔහු හිටපු හමුදා සෙබළෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.
පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සැකකරු විසින් සිදුකර ඇති බවය.
සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර තෙලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.පී.ජී සරච්චන්ද්‍ර මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
