මැතිවරණ කොමිසමේ e-සේවා පුළුල් කරයි
March 30, 2026 04:43 pm
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවට සේවාවන් ලබා ගැනීම පහසු කිරීම සඳහා මාර්ගගත “මැතිවරණ ඊ-සේවා” ක්‍රමවේදය තවදුරටත් පුළුල් කර තිබේ.
ඒ අනුව, ග්‍රාම නිලධාරි කාර්යාල, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල හෝ කොමිෂන් සභාව වෙත පැමිණීමකින් තොරව, අන්තර්ජාලය හරහාම අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත.
https://eservices.elections.gov.lk හෝ ec.lk/es සබැඳි මඟින් (QR Code එක scan කිරීමෙන්ද) මෙම සේවාවන්ට පිවිසිය හැකි අතර, අන්තර්ජාල සම්බන්ධතාවය ඇති ඕනෑම පරිගණකයක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක් මඟින් දවසේ ඕනෑම වේලාවක සේවාවන් ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම ඊ-සේවාවන් යටතේ,
- 2026 ඡන්ද හිමි නාමලේඛන ප්රතිශෝධනයට අදාලව ඡන්ද හිමි නාම ලේඛන කෙටුම්පත් තොරතුරු පරීක්ෂාව සහ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කිරීමට හෝ පදිංචි ස්ථානය මාරු කර ගැනීම සඳහා මාර්ගගතව ඉල්ලුම් කිරීම.
- වයස අවුරුදු 18 සම්පූර්ණ වූ මෙතෙක් ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් වී නොමැති පුරවැසියන් හට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරවා ගැනීම.
- වයස අවුරුදු 18 සම්පූර්ණ නොවූ නමුත් ජාතික හැඳුනුම්පත ලබාගත් යොවුන් පුරවැසියන් හට ඉදිරියේදී ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීම.
- 2015 වසරේ සිට මේ දක්වා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි තොරතුරු ලබා ගැනීම, ලියාපදිංචි තොරතුරු ඇතුළත් මැතිවරණ කොමසාරිස් ජනරාල්ගේ අත්සන සහිත ඡන්ද හිමි ලියාපදිංචි ප්‍රකාශය ලබා ගැනීම.
- අබාධ සහිත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විශේෂ අවශ්‍යතා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව.
යනාදී සේවාවන් ලබා ගත හැකි බව කොමිෂන් සභාව පවසයි.
තවද, මෙම සේවාවන් භාවිතා කිරීම සඳහා අවශ්‍ය උපදෙස් එක් එක් සේවා ද්වාර (portal) තුළ සපයා ඇති බව ද සඳහන් කර ඇත.

