සමස්ත විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

සමස්ත විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට - ඒකක අනුව ප්‍රතිශතයේ වෙනසක්

March 30, 2026   02:13 pm

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල 10%කින් ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

එසේ වුවද පාරිභෝගිකයින් පාවිච්චි කරන විදුලි ඒකක අනුව මෙවර විදුලි ගාස්තුව ඉහළ යන ප්‍රතිශතය වෙනස් වී ඇත. 

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණු නමුත් ඉදිරිපත් වූ මහජනතාවගේ අදහස් හා යෝජනා අනුව මහජන උපයෝගීතා කොමිසම මෙලෙස විදුලි ගාස්තු ඉහළ සංශෝධනය කර තිබේ.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ. 

මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර ඒ අනුව මාසිකව බිල්පතේ වැඩිවීම රුපියල් 15කි.

31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබේ.

61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120කි.

91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.2%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420ක්ද වේ.

180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර එය 25.3%කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර තිබේ.

මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දැමීමටද තීරණය කර ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන සඳහාද විදුලි ගාස්තුව 14.4%කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

මෙම ගාස්තු සංශෝධනයත් මාසික විදුලි බිලට සිදුවන වෙනස පහතින්.

ගෘහස්ත අංශයේ එක් එක් පාරිභෝගික කාණ්ඩ සඳහා විදුලි ගාස්තු ඉහළ යාමේ ප්‍රතිශතය පහතින්