මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
February 20, 2026 10:04 am
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය.
බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද සාර්ථක තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ තොරතුරෙන් පවසා ඇත්තේ මත්පෙති රැගෙන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේ නිවසකට පැමිණෙන බවය.
ඒ අනුව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු මත්පෙති තොගය සමග අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති තොග වශයෙන් විවිධ පුද්ගලයන් වෙත ලබාදෙන බව පවසා තිබේ.
සැකකරු 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි
