5කට දිවි තොර කළ නීතිවිරෝධී මත්පැන් - තවත් දෙදෙනෙක් රෝහලේ
January 6, 2026 12:19 pm
වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ පුද්ගලයින් පස්දෙනෙකු අද (06) පෙරවරුවේ සැකකටයුතු ලෙස මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා මීගමුව රෝහලේ වැඩිදුරටත් ප්‍රතිකාර ලබන බවය.
නීතිවිරෝධී මත්පැන් යැයි සැක කෙරෙන දියරයක් මෙම මරණවලට හේතු වී ඇති බවට දැනට සැක පළ කෙරේ.
වෙන්නප්පුව වයික්කාල තඹරවිල ප්‍රදේශයේ ඇඹරුම්හලක සේවකයන් පස්දෙනෙක් සැකසහිත ලෙස මියයාමේ සිදුවීමක් වාර්තාවූයේ අද පෙරවරුවේය.
මීට දින දෙකකට පෙර මෙම පිරිස යම් දියරයක් පානය කර ඇති බව වාර්තා වේ.
පසුව අවස්ථා කිහිපයකදී ඔවුන්ට යම් සංකූලතා මතුව ඇති බව පැවසේ.
ඒ අතරින් දෙදෙනෙක් අද පෙරවරුවේ එම ඇඹරුම්හලේ පිහිටි කුටියක් තුළ මියගොස් සිට ඇති අතර තවත් තිදෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.
මේ අතර එම ඇඹරුම්හල ආසන්නයේම තවත් නිවසක පුද්ගලයෙකුද අද පෙරවරුවේ අභිරහස් ලෙස මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
එසේම එම ප්‍රදේශයේම පිහිටි වාහන අලුත්වැඩියා කරන ස්ථානයක තවත් පුද්ගලයින් තිදෙනෙකු අද පෙරවරුවේ අසාධ්‍ය රෝගී ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව ඉන් දෙදෙනෙකුද මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම මරණ සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතින අතර නීතිවිරෝධී මත්පැන් පානය කිරීමක් මීට හේතු වන්නට ඇති බවට දැනට සැක කෙරේ.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
