තායිවාන මුහුදු සීමාවේ චීනයෙන් යුද අභ්‍යාසයක්
December 30, 2025 09:23 am
චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය විසින් තායිවානය වටා මුර සංචාර සමගින් යුද අභ්‍යාසයක් අරඹා තිබේ.
යුද සූදානමක් වශයෙන් ඊයේ (29) ආරම්භ වූ එම මුර සංචාරය සඳහා චීන නාවික හා ගුවන් හමුදා බළකායන් යොදවා ගන්නා බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයේ ප්‍රකාශක Shi Yi ප්‍රකාශ කර ඇත.
"Justice Mission 2025" නමින් නම් කර ඇති මෙම යුද අභ්‍යාසය තායිවාන දූපත වටා ආරම්භ කළ බවද ඔහු දැනුම් දී තිබේ.
චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකයට අයත් පාබල, නාවික, ගුවන් හමුදා සහ රොකට් බළකායේ භටයින් යොදා ගනිමින් තායිවාන සමුද්‍ර සන්ධියේ, තායිවාන දූපතේ උතුර, නිරිතදිග, අග්නිදිග හා නැගෙනහිර දිශාවන්හි එම යුද අභ්‍යාස සිදු කර තිබේ.
මුහුදු-ගුවන් සටන් සූදානම සඳහා වන මුර සංචාරය, යුද කලාපයේ පූර්ණ පාලනය අත්පත් කර ගැනීම, ප්‍රධාන වරායන් හා ප්‍රදේශ අවහිර කිරීම ඇතුළු කාර්යයන් කෙරෙහි යුද අභ්‍යාසයේදී වැඩි අවධානය යොමු කර ඇත.
"Justice Mission 2025" යුද අභ්‍යාස, තායිවාන බෙදුම්වාදීන් හා තායිවාන කටයුතුවලට මැදිහත්ව සිටින බාහිර බලවේගයන්ට එරෙහි දැඩි අනතුරු ඇඟවීමක් බවත්, එය චීනයේ ස්වාධිපත්‍යය හා එක්සත්භාවය ආරක්ෂා කිරීම සඳහා ගන්නා නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් බවත්, Shi Yi පවසා තිබේ.
