මෙරට ඉදිරි ගමන්මඟ ගැන අමෙරිකානු නව තානාපතිවරයාගේ දැක්ම

මෙරට ඉදිරි ගමන්මඟ ගැන අමෙරිකානු නව තානාපතිවරයාගේ දැක්ම

December 13, 2025   01:26 pm

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නම් කර ඇති එරික් මෙයර්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ඔහු අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ප්‍රමුඛතාද පෙන්වා දී ඇත.

එම ප්‍රමුඛතා අතර කිහිපයක් ලෙස, එරික් ‍මෙයර් පෙන්වා දී ඇත්තේ, සමුද්‍ර ආරක්ෂාව, ආර්ථික සංශෝධන සහ ඉන්දියානු සාගර කලාපයේ චීනයෙන් වැඩිවන බලපෑමට ප්‍රතිවිරුද්ධ වීම බවය.

සෙනට් විදේශ සබඳතා කමිටුව හමුවේ මෙයර් මහතා පැවසුවේ, ලෝකයේ ප්‍රධාන නාවික මාර්ගවල මධ්‍යස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාව නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීමට අමෙරිකාව ගන්නා උත්සාහවලදී අතිශය වැදගත් බවය. 

එමෙන්ම, චීනය ඇතුළු “විරුද්ධ බලවේගයන්ගේ” බලපෑම්වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමද ඇමරිකාවේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

ඉන්දියානු සාගරයේ අතිශය කාර්යබහුල නාවික මාර්ගවලට අසළින් ශ්‍රී ලංකාව පිහිටා ඇති අතර අමෙරිකානු නාවික යාත්‍රා සහ ලෝකයේ මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය වන ඛණිජ තෙල් ප්‍රමාණයෙන් විශාල කොටසක් නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා ජල සීමා හරහා ගමන් කරනු බව මෙයර් මහතා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් කියා සිටියේ, තමා තානාපති ලෙස පත්වුවහොත් ප්‍රමුඛතම කාර්යය ලෙස ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වන බවය. 

එසේම, ‘දිට්ටා’ සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 600කට අධික පිරිසක් මියගොස් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වූ අවස්ථාවේදී අමෙරිකාව ලබාදුන් සහායද ඔහු අවධාරණය කළේය.

එහිදී අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2ක හදිසි සහාය ලබාදීමටත්, අපගේ හමුදා ගුවන් ප්‍රවාහන හැකියාවන් භාවිතා කර සහන කටයුතු සඳහා සහාය දීමටත් කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.

එය ශ්‍රී ලංකාව සමඟ ඇති ශක්තිමත් සහ දිගුකාලීන හවුල්කාරිත්වයේ සාක්ෂියක් බවද එරික් මෙයර් මහා පැවසීය.

ශ්‍රී ලංකාවේ 2022දී ඇති වූ දැඩි ආර්ථික හා දේශපාලන අර්බුදයෙන් පසු නැවත නැඟීසිටීම පිළිබඳවද එරික් මෙයර් මහතා අදහස් දැක්වීය. 

එහිදී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවසා ඇත්තේ, කලාපීය ආර්ථික නායකයෙකු බවට පත්වීමේ හැකියාව ඇති අතර කොළඹ වරායේ ධාරිතාව ඉදිරියේදී දෙගුණ වීමට නියමිත බවද උදාහරණයක් ලෙස දැක්වීය.

එමෙන්ම, IMF වැඩසටහනට සම්බන්ධ ආර්ථික සංශෝධන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. “ආර්ථික ස්වෛරීභාවය යනු ජාතික ස්වාධීනත්වයට සෘජුවම සම්බන්ධයි. 

මෙම සංශෝධන දිගටම පවත්වා ගියහොත්, අමෙරිකානු ආයෝජන හා සමාගම් සඳහාද ශ්‍රී ලංකාවේ අවස්ථා වැඩිවේ,” යනුවෙන් මයර් මහතා සඳහන් කළේය.

සෙනට් විදේශ සබඳතා කමිටු සභාපති ජිම් රිෂ්, ශ්‍රී ලංකාවේ වරාය ව්‍යුහයන් සම්බන්ධයෙන් චීනය කළ භූමිකාව ගෝලීය වශයෙන් අනතුරු ඇඟවීමක් ලෙස උපුටා දක්වමින්, “චීනය ශ්‍රී ලංකාවේ වරාය සම්බන්ධයෙන් කළ ක්‍රියාකාරකම් ලෝකයටම උදාහරණයක් වී තිබෙනවා,” යනුවෙන් පැවසීය.

ඊට ප්‍රතිචාර ලෙස මෙයර් මහතා කියා සිටියේ, අමෙරිකාව “විවෘත සහ පැහැදිලි” ද්විපාර්ශ්වික සබඳතා සඳහා කැපවී සිටින බවත්, ශ්‍රී ලංකාව තම ස්වෛරීභාවය, විශේෂයෙන්ම වරායන් පිළිබඳව, ආරක්ෂා කරගැනීමට සහාය වීමට සූදානම් බවත්ය.

ඉන්දු-පැසිෆික් ප්‍රවේශයේ කොටසක් ලෙස, ආරක්ෂක හා නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව ශ්‍රී ලංකාව සමඟ අමෙරිකානු සබඳතාවල මූලික අංගයක් වන බවද ඔහු සඳහන් කළේය. 

ආපදා සහන, ජාත්‍යන්තර අපරාධ හා මිනිස් ජාවාරම්වලට එරෙහිව කටයුතු කිරීම, සමුද්‍ර අවකාශ අවබෝධය වර්ධනය කිරීම සහ වරාය ආරක්ෂාව ශක්තිමත් කිරීම එහි අරමුණු ලෙස ඔහු පැහැදිලි කළේය.