සයුරෙන් එතෙර
චීනයේ AI ගැන තායිවානය බියෙන්
November 22, 2025 07:50 am
තායිවානය විසින් එරට සියලුම රජයේ ආයතනවල චීනය විසින් සංවර්ධනය කරන ලද කෘත්‍රිම බුද්ධි පද්ධති භාවිතය නිල වශයෙන් තහනම් කිරීමට පියවර ගෙන ඇත.
ඒ, චීනයෙන් එල්ලවන බලපෑම්, සයිබර් ආරක්ෂාව, සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය ආදී කරුණු සැලකිල්ලට ගෙන බව පැවසෙයි.
තායිපේ ටයිම්ස් විසින් වාර්තා කරන පරිදි, ඩිජිටල් කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙය තහවුරු කර ඇත.
තායිවානයේ ජාතික ආරක්ෂක කාර්යාංශය විසින් සිදුකරන ලද පුළුල් පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වෙයි.
DeepSeek ඇතුළු යෙදවුම් රැසක විකෘති ඇති බව තායිවානයේ ජාතික ආරක්ෂක කාර්යාංශයේ නිගමනයවී තිබේ.
ඒ අනුව චීන උත්පාදක AI පද්ධති හරහා මතුවෙන අවදානම සම්බන්ධයෙන් තායිවාන රජය සිය පුරවැසියන්ට, පෞද්ගලික සමාගම්වලට සහ රාජ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීම අඛණ්ඩව සිදුකරගෙන යන බවද වාර්තා වෙයි.
