BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි 

BYD රථ දහසකට වඩා හම්බන්තොට සිරවෙයි 

July 30, 2025   08:04 pm

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය.

කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය. 

මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට හම්බන්තොට වරායේ නිශ්කාශනය නොකර ගාල්කර තිබේ.

මේ අතර BYD ATTO 3 වර්ගයේ මෝටර් රථ දහසක් පමණ ද හම්බන්තොට වරායෙන් නිෂ්කාශනය නොකර ශ්‍රී ලංකා රේගුව රඳවා තබාගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ මෙරටට ආනයනය කරන ලද ATTO 3 මාදිලියේ රථවල මෝටර් බලය 100kW ලෙස නිෂ්පාදනය කර පැමිණියද, එම මාදිලියෙන්ම වෙනත් රටවලට ආනයනය කරන වාහනවල මෝටර් බලය 150kW වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වයයි. 

100kW මෝටර් රථ සඳහා අඩු රේගු බද්දක් අය කෙරෙන අතර, 150kW සඳහා වැඩි රේගු බද්දක් නිෂ්කාශනයේදී අය කෙරේ.

එමෙන්ම මෙම BYD වාහන මාදිලි පිළිබඳ මෑතකාලයේ පළවන පුවත සම්බන්ධයෙන් එම රථවාහන සඳහා මෙරට එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන John Keels CG Auto පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ චීනයේ BYD වෙතින් ආනයනය කරන ලද වාහන 100 kW මාදිලි බව ජනතාවට සහතික කරන බවය.

එම වාහන සිංගප්පූරුව වැනි ජාත්‍යන්තර වෙළෙඳපොළවල අලෙවිවන වාහන මාදිලි බවද එම නිවේදනයේ සඳහන්.

එම සමාගම පෙන්වාදෙන්නේ මෙම වාහන motor power චීනයේ BYD හි පරීක්ෂණ වාර්තා මගින් තහවුුරු කර ඇති බවත්, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් එය වැඩිදුරටත් සහතික කර ඇති බවය.

මෙරට වගකිව යුතු සමාගමක් ලෙස John Keels CG Auto පුද්ගලික සමාගම ආනයනය කරනු ලබන සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල බවට සහතික කරන බව එම සමාගම පවසයි.